පංචශීලය රැකෙන
තුන්දොර සංවරය
උපන් සෑම සත්ත්වයෙක් ම සැපයට කැමැතිය. දුක් විඳීමට අකැමැතිය. "මට දුකක් නැතිව ජීවත් වීමට ඇත්නම්" යන සිතිවිල්ල ඔබේ සිතේ කී වාරයක් නම් පහළ වන්නට ඇද්ද? ඒ සැපයට ඇති ආශාව නිසා ය. සැප ලැබීමට නම් දුක් කෙළවර කළ යුතුය. ඒ සඳහා පිවිසිය යුතු නිවැරැදි මාර්ගය කුමක්‌දැයි අවබෝධ කටයුතුය. අපගේ සිත හා මනස මේ පිළිබඳව දැඩි සංවාදයකට යොමු කිරීමෙන් අප බලාපොරොත්තු වන සැපය ළඟා කර ගැනීමට අපහසුවක් නැත. අවශ්‍ය වන්නේ අධිෂ්ඨානයත්, කැපවීමත් පමණෙකි.
බුදු දහම අනුව සලකා බැලුවහොත් දුක් නිවාරණය කොට ලැබිය හැකි සැපයක් ලෞකික වශයෙන් නැත. සැපය ඇත්තේ සියලු දුක් නිවා ලබන ලෝකෝත්තර නිවනෙහිය. දුක් නූපදින නිර්වාණ සැපය අත්කර ගැනීම, අප හිතන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා ප්‍රගුණ කළ යුතු සසර පුරුදු තිබිය යුතුය. එහෙත් එම පුරුදු විෂ ච සිටුවා මී අඹ බලාපොරොත්තු වන්නාක් වැනි ක්‍රියාවෝ නොවිය යුතුය. මී අඹ පල නෙළන්නට මී අඹම සිටුවිය යුතුවාක් මෙන් අනන්ත කාලයක් මුළුල්ලේ සසර ඇවිදින අප විසින් සියලු අතින් මැ යහපතට හේතු වන ක්‍රියාකාරකම් ඉෂ්ට සිද්ධ කළ යුතුය.
අද සමාජයේ බොහෝ දෙනා ජීවත් වනුයේ දැඩි කායික හා මානසික අසහනයන්ට ගොදුරු වෙමින්ය. කෙළෙස් ගින්නෙන් දැවෙන මිනිසා පාරක් තොටක් නොමැතිව මහ කැලෑවක මංමුලාවකු වැනිය. අන්ධකාරයේ නිච්චියක් නිනව්වක් නැතිව යමක් සොයා අතපත ගානා කෙනෙකු වැනිය. යා යුතු මඟ නොදැන සිහි මුළා වූවකු ගේ තත්ත්වයට පත් ඔහුට කෙළෙස් ගිනි නිවන තෙක් සසරින් ගැලවීමක් නම් නැත.
වත්මන් ලොවේ අසහනය, අසමගිය, අසතුට සමග කෙළවරක් නැති කළකෝලාහල, මිනීමැරුම්, කාම අපරාධ සිදුවීමට ප්‍රධාන හේතුව වන්නේ බුදු දහම පිළිබඳව අනවබෝධයෙන් මිනිසා කල්යෑවීමය. කෙළෙස් බරින් පිරුණු අසීමිත තෘෂ්ණාවෙන් පෙළෙන මිනිසා ලෞකික වශයෙන් සැප සොයා යන්නේ අන්‍යයන් අභිබවා යැමෙන්ය. එබඳු පුද්ගලයන්ට නිවීමක් නම් ලැබේද?
පූර්ව ආත්මයන්හිදී කරන ලද පින් ඇති බැවින් මිනිසත් බව ලැබූවද, සංසාර පුරුදු වශයෙන් ගෙන යන අයහපත් ක්‍රියාකාරකම් ගොනු බැඳි ගැල මෙන් ඔහු පසු පස යමින් දුකට හේතුවන ප්‍රතිඵල ලබාදෙයි. සංසාර පුරුදු කුමක් වුවද මෙලොව වශයෙන් කරන කියන දෙයෙහි හොඳ නරක තෝරා බේරා ගැනීමට තරම් සිහි නුවණක් යමෙකු තුළ පවතී නම් ඔහුට ජීවිතය ඉඳුරාම දිනිය හැකිය. සන්සුන් නිවුණු සිතක ඇති ආශ්චර්ය නොසන්සුන් දැවෙන සිතක නැත. මේ අනුව ජීවිතය නිවැරැදි මඟ ගෙන යැමට නම් කළ යුතු හොඳම දෙය සිත සංවරව තබා ගැනීමය.
"සංවරය" යන්නෙහි අරුත හික්‌මීමයි. සිත හික්‌මවීම ශීලය නම් වෙයි. වෙනත් වචනයෙන් කිවහොත් පාපයන්ගෙන් මිදීම ශීලය යි. ශීලයෙහි පිහිටි තැනැත්තාගේ සිතෙහි පාපී සිතිවිලි පහළ වීමක් නැත. එනිසාම එවැනි සිතක අකුසල් රැස්‌වීමක් සිදු නොවේ.
අකුසල් රැස් කෙරෙන දොරටු තුනක් අපගේ ශරීරය හා සම්බන්ධය. සිත, කය හා වචනය එම දොරටු තුනය. මේ අතර ඇස, කණ, නාසය, දිව සහ ශරීරය (ස්‌පර්ශය) වශයෙන් ඇති පංෙච්න්ද්‍රියයන් නිසා සිතට ගලා එන අරමුණු මගින් ලබන වින්දනය පිළිබඳව අනවබෝධයෙන් හා අසිහියෙන් සිටීම නිසා අකුසල් සිදු වෙයි. සිතක ස්‌වභාවය නිරායාසයෙන් මැ පහත් ක්‍රියාකාරකම් සමග ගැටීමය. නැතහොත් පහත් ආශ්වාදයක් ලැබීමය. ඒ සඳහා සිතට ඇතිවන වුවමනාව නොහොත් පෙලඹවීම මත අකුසල් සිදු වේ. මෙලොව ඇති සියලුම සම්පත්වලින් හැකි තරම් දේ අයිති කරගෙන කා බී නටා ප්‍රීතියෙන් විනෝදයෙන් ගතකළ යුතුය යන දර්ශනයෙහි පිහිටා ක්‍රියා කිරීමට සිතක් පහළ වන්නේ නම් එය ප්‍රඥගෝචර නොවේ. එබඳු සිතිවිලි ඇති කර ගනිමින් තව තවත් සැප ප්‍රාර්ථනා කොටැ පින් දහම්හි යෙදෙන්නෙමි යි යන අදහසින් ඔබ පසුවන්නේ නම් එයද සසර ගමන නිම කිරීමට මහත් බාධාවකි. එවැනි මෝඩ අදහස් සිතට හැඟේ නම් ඒවා වැරැදි බව සිහියට නඟාගෙන එයින් අත්මිදිය යුතුය.
සැප ලැබීමට කෙරෙන ප්‍රාර්ථනාවද ආශාවකි. එයින් වැඩෙන්නේ සිතේ තණ්‌හාව ය. ආශා ඉටු නොවූ තැන විඳින්නේ දුකය. "මට දුකක් නැතිව ජීවත් වීමට ඇත්නම්" යන සංකල්පය මත දුක් විඳීමට අකමැති ඔබ එයින් ලබන සැපය කුමක්‌ද? සැප සොයන ප්‍රාර්ථනාව අත්හරින තෙක් ඉහත කී ආකල්පය මත ඔබට දුකින් මිදීමක් වන්නේ නැත. ඒ නිසා එවැනි මෝඩ (ආශා) කල්පනා සිතින් අත්හැරිය යුතුය.
ඉඳුරන්ට අරමුණු වන බොහෝ දේ විශ්වය තුළ පවතී. ඇසට පෙනෙන, කණට ඇසෙන, නාසයට දැනෙන ආදී වශයෙන් ඉඳුරන්ට අරමුණු වන නොයෙකුත් දේ ඔබට හමුවෙයි. ඒ සියලු දේම ඒකාකාරවැ නොවෙනස් වැ පැවැතීමක් නැත. සියල්ලම වෙනස් වන සුළුය. එමෙන්මැ අස්‌ථිර ය. මෙලෙස ස්‌ථිරය කියා කිසිවක් නැතිනම් ඒවා විඳීමේ හෝ
රැස් කිරීමේ තේරුම කුමක්‌ද?
අස්‌ථිර වූ යම් කිසිවකින් ලබන සැපයද, නැතිනම් සතුටද සදා කාලික නොවන බව අප විසින් තේරුම් ගත යුතුය. එසේ නම් ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමනේ දුක උපදවන තාවකාලික සැප සෙවීමෙන් ඵලයක් නැත.
අද අප ලබා ඇත්තේ උතුම් වූ මනුෂ්‍ය ආත්මයකි. මනසින් උසස් වූ අපට බුදුන් වහන්සේ දෙසූ ධර්මයෙහි පිහිටා මෙම ජීවිතය තුළදීම සසර දුකින් මිදීමට අපහසුවක් නැත. ඒ සඳහා වැරැදි අයහපත් දෙයින් වෙන්ව නිවැරැදි යහපත් ක්‍රියාවන්හි යෙදීමට අපගේ සිත අවදියෙන් තබා ගැනීම ඉතා වැදගත් ය.
සිතෙන් මෙන් මැ කයින් (ශරීරයෙන්) ද බොහෝ පව් සිදු කෙරේ. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, සුරාවෙහි ලොල්වීම කය නිසා සිදුවන අකුසල් ය. අසංවර සිතකට සොරකමක් කිරීමට වුවමනාවක් ඇති වූවා යෑයි සිතමු. ඒ සඳහා පෙලඹවීමක් ඇති වුණත් සිත හා මනස අවදියෙන් තබා ගෙනැ එහි විපාක ගැන අවබෝධයක් ඇති කර ගැනීමෙන් එකී පාපී සිතිවිලි ක්‍රියාත්මක නොවන පරිදි සිත කය පවත්වා ගැනීමට හැකිවේද, එසේ කිරීමෙන් අයහපත් සංසාර පුරුදු හා ක්‍රියාකාරකම් අභිබවා යහපත් සිතිවිලි උපදවා ගෙනැ උසස් දිවි පෙවෙතක් ගෙනැ යැමට හැකි වෙයි.
මුසාවාදය, සම්ප්‍රප්පලාප, කේළාම් (පිසුණාවාචා) හා පරුෂ වචනය කට නිසා සිදුවන අකුසලයෝය. "කට නිසා මාළුවා නසින්නේය" යන කියමනක් අපේ ජන වහරේÊපවතී. කටින් පිටවන වචන හොඳ සහ නරක යනුවෙන් දෙකොටසකට බෙදේ. මෙයින් බොරුව, කේළම, පරුෂ වචනය, ප්‍රලාප නොහොත් හිස් වචන කට අසංවර කර ගැනීමෙන් සිදුවන නරක කොටසට අයත් අකුසල් ය.
බොරුව නිසා ජීවිත පවා විනාශ වීමට කටයුතු යෙදේ. සමහරකුට බොරුවක් නොකියා සිටිය නොහැකිය. අසත්‍ය දේ කීම, එවැනි අයට විනෝදයකි. කට ඇරියොත් කියන්නේ බොරුවක් යයි මිනිසුන් හඳුන්වන තරම් පහත් තත්ත්වයට ඇද වැටී ඇත. කියන ලද එක බොරුවක් වසා ගන්නට තවත් බොරු දාහක් ඇදබාන අයද සමාජයෙහි වෙති.
කේළම දෙදෙනෙක් හෝ දෙපිරිසක් බිඳවන වචන ගොන්නකි. කේළම සමාජය තුළ මිනීමැරුම් පවා සිදුවීමට තරම් දරුණු සමාජ විනාශයට පත් කරන ආයුධයක් හා සමානය.
පරුෂ වචනය කෙනෙකුගේ සිත් රිදවීමට සමත් ය. තමා තුළ අන් අය ගැන ඇති ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තමා තුළ පවත්නා ගින්දර අන්‍යයන්ට දී ඔවුන් රිදවන පිළිවෙතකි. පරුෂ වචනය අන්‍යයන්ගේ උස් මිටිකම්, ඇද පලුදු සෙවීම් සම්ප්‍රප්පලාපයයි. තමන්ටවත් අනුන්ටවත් කිසියම් ආකාරයකින් අර්ථයක් නැති, හිස් වචන දෙඩීමෙන් ලබන විනෝදය කුමක් දැයි අවබෝධයෙන් යුතුව කල්පනාකර බලනවා නම් මෙවැනි අය තමන් තේරුම් ගෙන මහත් ලඡ්ජාවට පත්වන්නේය.
මෙනයින් සලකා බලන කල සිත, කය, වචනය යන තුන් දොර සංවර කර ගැනීම අපට පංචශීලය ආරක්‌ෂා කර ගැනීමට මහඟු උපකාරයකි.
උඩුබද්දාව - සෝමරත්න බන්නැහැක
No comments:
Post a Comment