බොදු හැදියාවයි ගිලන් උවැටනයි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
‘ආරෝග්‍යා පරමාලාභා සන්තුට්ඨී පරමං ධනං’
කරුණික පින්වත්නි,
හෙද සේවය බෞද්ධ සංස්කෘතියේ උතුම් සමාජ වටිනාකමකි. වෙද හෙදකම් වෙනුවෙන් අපේ සිංහල සාහිත්‍යයේ යෙදීමක් වේ. වෙදකම නම් බෙහෙත් කිරීමයි. හෙදකම නම් තමන් රෝගී අවස්ථාවක තමන්ගේ කටයුතු තමන්ට කර ගැනීමට නොහැකි අයට ඇප උපස්ථාන කිරීමයි. සමහරවිට වෙදකමට වඩා හෙදකම අවශ්‍ය අවස්ථා ඇත.
සමහර අවස්ථාවල රෝගීන් නිරෝගී වන්නේ වෙදකමේ හාස්කමට වඩා හෙදකමේ හාස්කමෙනි. අත්ගුණය නමින් වහරන උතුම් දායාදයක් අපට තිබේ. මේ අත්ගුණය බොහෝ විට පිහිටන්නේ හෙද, හෙදියන් තුළය. වෛද්‍යවරයා බෙහෙත් නියම කරයි. ඒ නියමිත බෙහෙත් රෝගියාට දෙන්නේ හෙදියගේ අතින්. ඒ තැනදී අත්ගුණය හෙදිය සතු දායාදයකි. සිංහල වෛද්‍යවරුන් තුළ නම් මේ අත්ගුණය වෛද්‍යවරයා තුළම පිහිටයි. ඒ අනුව හෙද හෙදියෝ අපේ ජාතික සහායකයෝ වෙති.
හෙද සේවයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. හෙද සේවයේ වටිනාකම, අගය, මිල ගුණය අපට මුලින්ම පෙන්වා වදාළේ අපේ තථාගත සම්බුදුන් වහන්සේ ය. පූතිගත්ත තිස්ස තෙරණුවෝ බුදු සසුනේ පැවිදි වී ගුණ දහම් වැඩූ තැනැත්තෙකි. උන්වහන්සේ වයසට යාමත් සමඟ අසනීප විය. ඇඟ පුරා ගෙඩි දැමීමේ රෝගයකි. එක එක ප්‍රමාණයේ ගෙඩි ඇඟ පුරා විය. නිරෝගී හාමුදුරුවරු බෙහෙත් කරමින් උවැටන් කරත් සුවපත් වූයේ නැත. අවසානයේ මරණය ඉදිරියේ තබාගෙන වැතිරිණ. මේ තත්ත්වය දුටු බුදු හාමුදුරුවෝ තමන්ම වතුර උණු කර සකස් කර, තෙල් බෙහෙත් ද ගෙන භික්‍ෂූන් ලවා ඇඳ පිටින්ම ලෙඩා ගෙන්වාගෙන පළමුව උණු දියෙන් ඇඟ සෝදා, තෙල් ගල්වා, හැඳ පෙරව සිටි සිවුරු හෝදා රෝගියාට පළමුව කයට සහනයක් දුන්හ. බුදුහාමුදුරුවන් ගැල්වූ තෙල් වලට වඩා බුදු හිමියන්ගේ අත්ගුණය ලෙඩාට පිහිට විය. ඒ පිළියම් කළේ මහා කරුණාවෙනි. මෛත්‍රියෙනි. දයාවෙනි. ඒ අපිරිමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රතිකාර කිරීමේ අත්ගුණය රෝගියාගේ රෝගය සුව වන්නට හේතු විය. පළමුව කය සැනසූ බුදුහිමි සුදුසු පරිසරය තුළ පූතිගත්ත තිස්ස තෙරුන්ට දහම් දෙසීය. ඒ මගින් රෝගියාගේ සිතට සැනසුම උදා විය. සිත සැනසීම රෝගය මුළුමනින්ම සුව වීමට හේතු විය.
බටහිර වෛද්‍ය ක්‍රමය අනුව රෝහලට යන බොහෝ රෝගීන්ගෙන් හෙදියෝ ලේ ගනිති. එම ලේ රසායනාගාර වලට යවා පරීක්‍ෂා කර එම ලේ වල විෂ බීජ තිබේද, වෛරස් තිබේද, සීනි තිබේද, ග්ලූකෝස් තිබේද, ක්ලෝස්ට්‍රෝල් තිබේද කියා පරීක්‍ෂා කර ඒ අනුව බෙහෙත් නියම කරති.
මෙය අලුත් දෙයක් නොවේ. සප්ත බොජ්ඣංග තේරුම්ගෙන ඒවා සිහි කිරීමෙන් සතුට ඇතිවන බවත් ඒ ධර්මාන්විත සතුට නිසා ලේ පිරිසුදු වන බවත් ලේ පිරිසුදු වීම නිසා රෝග සුව වන බවත් බුදුහාමුදුරුවෝ ගිරිමානන්ද සූත්‍රයේ හා බොජ්ඣංග සූත්‍ර වල පැහැදිලිව විවරණය කර ඇත. මේ අනුව හෙදියන්ගේ අත්ගුණය, හෙදියන් විසින් රෝගීන්ගේ සිත සතුටු කර තබාගැනීම රෝග සුව වීමට හේතු කාරක වේ. පූතිගත්ත තිස්ස තෙරුන්ට උවටැන් කළ බුදුහිමියෝ ගිලනුන්ට උවැටන් කිරීම තමන්ට උවැටන් කිරීම හා සමානයැයි භික්‍ෂූන්ට වදාළහ.
රෝග තත්ත්වයන් ගැනත් හෙද සේවාව ගැනත් අපේ ත්‍රිපිටකයේ විවිධ තැන්වල සඳහන් කර ඇත. මිනිස් සමාජයේ තුන් වර්ගයක ගිලනුන් සිටින බව අංගුත්තර නිකායේ තික නිපාතයේ පුද්ගල වර්ගයේ සඳහනි. ඒ මෙසේ ය.
01. සුදුසු ආහාරපාන, සුදුසු නියමිත බෙහෙත්, සුදුසු උපස්ථාන හෙද සේවය ලැබුණත් නොලැබුණත් සුවය නොලබන ගිලනා,
02. සුදුසු ආහාරපාන,නියමිත සුදුසු ඖෂධ, නියමිත උපස්ථාන ලැබුණත් නොලැබුණත් සුවය ලබන ගිලනා,
03. සුදුසු ආහාරපාන, සුදුසු පරිසරය, සුදුසු ඖෂධ, සුදුසු උපස්ථාන ලැබීමෙන් ම සුවය ලබන ගිලනා,
මේ තුන් ආකාර ගිලනුන්ම රෝහල්වලට එති. මේ කවර ගිලනාදැයි එක් වරම තීන්දු කිරීමට වෛද්‍යවරුන්ට හෝ හෙද හෙදියන්ට නුපුළුවන. ඒ නිසා වෛද්‍යවරුන්ගෙත්, හෙද හෙදියන්ගෙත් සදාචාර සම්පන්න යුතුකම නම් මෙහෙය නම් සෑම රෝගියෙක්ම තුන්වන අවධියේ රෝගියෙක්යැයි සිතා නියම සුදුසු ආහාර පාන, සුදුසු ඖෂධ, උපරිම අයුරින් උපස්ථානය හෙද සේවය ලබා දී රෝගියා සුව කිරීමට වෙහෙස ගැනීමයි.
හෙදකු හෝ හෙදියක වීමට හැම දෙනාටම නුපුළුවන. හෙදකම හැම දෙනාටම නොපිහිටන බැවිනි. හෙද හෙදියන් වීමට සුදුසු තැනැත්තන් පිළිබඳව අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ ගිලාන වර්ගයේත් චුල්ල වග්ගයේ විස්තර කර ඇත.
මොනවාද ඒ සුදුසුකම්,
01. බෙහෙත්, ඖෂධ සංයෝජනයේ දක්ෂතාවය, බෙහෙත් හඳුනාගැනීම, ඖෂධවල මාත්‍රාව හඳුනාගැනීම, ගතයුතු ප්‍රමාණය, ගතයුතු වෙලාව ආදිය දැනගැනීම.
02. රෝගියාට පථ්‍ය, අපථ්‍ය දේ දැන පථ්‍ය දේ දෙන්නට අපථ්‍ය දේ නොදෙන්නට වග බලාගැනීම, ඒ ගැන දැනුම අවබෝධය තිබීම.
03. මෙත්සිතින්, කරුණාවෙන් කිසියම් ලාභයක් බලාපොරොත්තුව නොව ගිලාන උපස්ථාන පිළිබඳවම එක හිතින් හිතා කටයුතු කිරීම.
හෙද හෙදියන් සේවය කිරීම නිසා රජයෙන් වැටුපක් ලැබෙන බව සත්‍යයය. එහෙත් හෙද හෙදියන් සේවය කළ යුත්තේ එයට වහල් වීමෙන් නොවේ. මෙත් සිත, කරුණාව, දයානුකම්පාව, අත්ගුණය, මානුෂික පැවැත්ම ඇති හෙද හෙදියකගේ සේවය එසේ ලැබෙන වැටුපෙන් මිල කළ නොහැකි ය. එවැන්නක් තුළ පවතින්නේ ගුණාත්මක අගයකි. එවැන්නෝ අසරණ රෝගීන් ශරීර ඇපයට තබාගෙන වැඩ වර්ජන ආදිය නොකරති. හෙද සේවයේ පවතින්නේ වැටුපෙන් තීරණය කරන වටිනාකමක් නොව සමාජමය වටිනාකමකි.
04. රෝගියා පිළිබඳව පිළිකුල් සහගතව නොබලා සත්පුරුෂ මිනිසෙකුගේ ඇසින් බැලීම.
තමා වාට්ටුවට රෝගියෙකු ගෙන එන විට තවත් කරදරයක්යැයි නොසිතා සිනහ මුහුණින් රෝගියා පිළිගෙන අවශ්‍ය ක්ෂණික ප්‍රතිකාර දීම හෙද හෙදියන් තුළ තිබිය යුතු ගුණයකි.
05 කලින් කල රෝගියා දැහැමි කථාවෙන් පහදවාලීමේ සමත්කම,
හෙද සේවයට තිබිය යුතු පස්වැනි ගුණය සුදුසුකම එයයි. දැහැමි කථා නොහැකි නම් සතුටු සාමීචී කතා මගින් රෝගියාගේ සිත රෝගයෙන් ඉවත් කර නිතරම රෝගියා සතුටු සිතින් තබා ගැනීම. හෙද සේවයේ යුතුකමයි. වගකීමයි. නියම හෙද සේවයක් වන්නේ එවිටය. වර්තමානය විද්‍යා යුගය බැවින් රෝගීන්ට පිරිත්, බණ ආදිය අසන්නට සලස්වන්න පුළුවන.
මේ අන්දමේ සුදුසුකම් ඇති යහපත් හෙද හෙදියන් වෙතොත් එවැනි රෝහල් ජනයාගේ ආදර ගෞරවයට පාත්‍ර වන බව සිද්ධාන්තයකි.
වර්තමාන හෙද සේවය බටහිර ආභාෂය අනුව අද පැවතුනත් හෙද සේවය අපට බටහිරින් ආ දෙයක් නොවේ. අනුරපුර, පොළොන්නරු යුගවලදී සුවිශාල ජාතික රෝහල් තිබුණු බවත්, ඒවායේ හෙද හෙදියන් සේවය කළ බවත් සඳහන්ව ඇත. අනුරපුර යුගයේ භික්‍ෂුණීන් සඳහා පැවැති රෝහල් වල හෙද සේවයේ යෙදී ඇත්තේ මෙහෙණින් වහන්සේලාමය. ඒඅයට පැවරුණු එක මෙහෙවරක් දෙමව්පියන් නැති දරුවෙක් හෝ අතරමං වුණු දරුවන් සොයා බලා එවැනි දරුවන් රජයේ ළමාරක්‍ෂක අංශවලට භාරදීමය. ඒ අනුව හෙද සේවය වූ කලී අපේ සංස්කෘතික සමාජ ධර්මයකි.
ගිලනුන්ට උපස්ථාන කරන භික්‍ෂූන්ට විශේෂ වරප්‍රසාද හිමි වන බව විනය පොත් වල සඳහන්ව ඇත. යම්කිසි ගිලන් භික්‍ෂුවකට උවටැන් කරන භික්‍ෂුවක් වෙතොත් ගිලනාටද උපස්ථායකයාටද ආහාර පාන ලබාදීම අනෙක් භික්‍ෂූන්ට නියම කර ඇත. මෙය මෙලොව පරලොව දෙකටම නීරෝගී සැප දිගාසිරි ගෙන දෙන මාහැඟි පින්කමක් ද වන්නේ ය.
යම්කිසි විධියකින් ගිලන් භික්‍ෂුව මිය ගියහොත් ඒ භික්‍ෂුව සතු සිවුරු පිරිකර පොත පත ආදී සම්පත් උවටැන් කළ භික්‍ෂුවට අයිතිවීම විනය නීතියයි. මේ අන්දමට සිතා බලන විට හෙද සේවයේ උපස්ථායක සේවයේ අගය කෙතරම් අගේදැයි වැටහේ.
රජයේ රෝහල් වලට එන්නේ නැති බැරි අහිංසක දුප්පත් රෝගීන් ය. ධනය ඇත්තෝ පුද්ගලික රෝහල් කරා ඇදෙති. මේ අනුව රජයේ රෝහල්වලට එන අහිංසක රෝගීන්ට මානව දයාවෙන් වෙද හෙදකම් කිරීම හෙද හෙදියන්ගේ වගකීමය. දිය පොදක් ඉල්ලා කෑ ගහන රෝගියෙකුට අනුකම්පා විරහිතව බැණ වදින හෙද හෙදියකගෙන් මෙම ජාතියට කවර පිළිසරණක්ද? එය සිංහල බෞද්ධ හැදිච්චකම නොවේ. ඒ අනුව හෙද සේවය යනු සිංහල ශිෂ්ටාචාරය අතින්ද, බෞද්ධ සංස්කෘතිය අතින්ද උත්තරීතර සමාජ ධර්මයකි. ඒ උත්තරීතර සමාජ ධර්මය අපේ වර්තමාන හෙදි පරපුර විසින් ද අවබෝධ කර ගනිමින් එහි ගරුත්වය, ගුණාත්මක බව හා අගය රකින්නට පරාර්ථ හා දයානුකම්පාවෙන් සිතත්වායි ආශිංසනය කරමි.
No comments:
Post a Comment