පසුව පසුතැවිලි නොවනු මැනවි
දස ඛලු ඉමානි ඨානානි යානි
පුබ්බේ අකාරිත්වා
ස පච්ඡා මනුතප්පති ඉච්චාහ
රාජා සනසන්ධා
ජනසන්ධ ජාතකය
ජාතක පාළි, ද්වාදසක නිපාතය
පින්වත්ති
බුදුරජාණන් වහන්සේ විසින් ජනසන්ධ ජාතකය දේශනා කළේ කොසොල් රජතුමාටයි. දිනක් කොසොල් රජතුමා බුදුරදුන් දැකීමට දෙව්රම් විහාරයට පැමිණියේ බලවත් වූ කණස්සල්ලකින් යුතුවයි. දින ගණනක් පන්සලට නො පැමිණ සිටි කොසොල් රජු බලවත් චිත්ත පීඩාවකින් පෙළෙමින් සිට තමන් වහන්සේ වෙතැ පැමිණ සිටි බව දැනගත් බුදුරජාණන් වහන්සේ මේ ජාතකය දේශනා කළා.
මේ මඟින් බුදුරජාණන්වහන්සේ පැහැදිලි කර ඇත්තේ පසුව පසුතැවිලි වීමට හේතුවන කරුණු දහයක් පිළිබඳවයි. ඒ පිළිබඳව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වෙයි. පින්වතුනි, මෙහි සඳහන් වන පසුවට පසුතැවිලි වීමට හේතුවන කරුණු සුදුසු කාලයෙහි ධනය නො ලැබීම, සුදුසු කාලයෙහි ඉගෙනීම නොලැබීම, කූටකම් කිරීම, හිංසාකාරීවීම, කාමුකවීම, පරිත්‍යාගශීලි නොවීම, මවුපියන්හට නො සැලකීම, ආචාර්ය උපදෙස් නො ගැනීම, සිල්වතුන් ඇසුරු නොකිරීම, අශිලාචාරව කටයුතු කිරීම.
ජීවත්වීමට මිල මුදල් ඇතුළු විවිධ සම්පත් අවශ්‍ය වෙනව. ඒවා උපයා සපයා ගැනීමට තමාව උත්සාහවත් විය යුතුයි. නොපමාව, අලස නොවී, ධාර්මිකව, දහඩිය වගුරුවා මිල මුදල් සෙවීම වැදගත් වෙනවා. සම්පත් ඉපයීමට හැමදාම අපහසුයි. ඒ සඳහා විශේෂ කාලයක් තිබෙනවා. කායික හා මානසික ශක්තිය තිබෙන මොහොතේ තමයි ඒ සඳහා උත්සාහයත් විය යුත්තේ. ඒ කාලයේදී හරිහම්බ කර නො ගත්තොත්, පසුව පසුතැවීමට සිදුවෙනවා. හරිහම්බ කරගත් වෙනත් අය ගැන සිතමින් දුකට පත් වෙන්න සිදු වෙන්නේ එවිටයි.
ජීවිතයක සාර්ථකත්වය ඇති වෙන්න නම් ඉගෙනුම අත්‍යවශ්‍ය කරුණක්. උපන්දා සිට මරණ මොහොත දක්වාම ඉගෙනුමට බොහෝ දේ ඇතත්, ඒ සඳහා විශේෂ කාලයක් තිබෙනවා. ඒ කාලය තමයි කායික හා මානසික නිරෝගි බවින් යුතු කාලය, විශේෂයෙන් කුඩා කාලය, තරුණ කාලය කෙනෙක් ඉගෙනුම ලබන දේවලින් හතරෙන් තුනක්ම ඉගෙන ගන්නේ ළමා අවධියේ යි. ඉගෙනුම ලැබිය යුතු කාලයේ ඒ කාර්යය මැනවින් නො කළොත් පසුව පසුතැවිලිවීමට සිදු වෙනවාමයි. ඇතැම් අය, සුදුසු කාලයේ, අලසකම නිසාම ඉගෙන ගන්නේ නෑ. පස්සේ පුළුවන් යැයි කියමින් පසුවට කල් තබනවා. එවිට කාලය ගෙවෙනවා. වයස ගතවෙනවා. ඉගෙනුමට තිබූ කාලය ගෙවී යනවා. වෙනත් බාහිර වැඩකටයුතු වැඩි වෙනවා. විවේකයත් කායික මානසික නිරෝගි බවත් හීනවෙනවා. තම වයසේ සිටි බොහෝ අය ඉගෙන ගෙන සමාජයේ උසස් තැන්වල කටයුතු කරන තත්ත්වයට පත්වෙනවා. ඒ දෙස බලන නූගත් පුද්ගලයාට පසුතැවීම හැර වෙන දෙයක් කරන්නට ඉතිරිව නෑ.
කූටවේදී නම් කූටකම හෙවත් කපටිකම, බොරුව, වංචාව, රැවටීම යන අදහසයි. තමන් කරන කූටකම් නිසා අන් අය මුහුණ දෙන අපහසුතා ගැන කිසිවක් නොසිතන කපටි මිනිසුන් සමාජයට මහ පිළල වෙනවා. ඇතැම්විට චණ්ඩි ක්‍රියා අනුගමනය කරනවා. කේලාම් කියමින් අනුන් බිඳවන අදහසින් ක්‍රියා කර තම බලාපොරොත්තු ඉටුකරගෙන තාවකාලික තෘප්තියක් තමයි ඔවුන් අපේක්ෂා කරන්නේ. සමාජය විසින්ම ඔවුන් පිළිකුල් කරනවා. ප්‍රතික්ෂේප කරනවා. එදාට ඔවුන්ට සිදුවන්නේ පසුතැවීමට පමණයි.
බුදුදහමෙන් උගන්වන්නේ තමා උපමා කොට අනුන් ගැනත් සිතන ලෙසයි. අනුන්ට කුමක් වුවත්, තමන්ගේ බලාපොරොත්තු පමණක් ඉටුවුණොත් ඇතැයි යන අදහස කෙතරම් අකාරුණික ද? එය ශිෂ්ට සමාජය කෙදිනකටවත් අනුමත කරන්නේ නෑ.
හිංසාකාරි පිළිවෙතැ අගය කරන අයෙකුට කිසිලෙසකින් පසුව සතුටක් ඇති කරගත නො හැකි. සිල්වත්, ගුණවත් අයෙකුට නිකරුණේ දොස් නගා, ඔහුට මානසික පීඩාවක් ඇති කරන අයෙකුට, මේ අත්බවේදීම එහි විපාක ලැබෙනව. අන්‍යයන්ට රහසින් හිංසාකාරි ක්‍රියාවන් කළත් තම සිතට ඒවා රහසක් වන්නේ නෑ. එම වැරැදි ක්‍රියා සිහිපත් වන සෑම මොහොතකම මානසික වශයෙන් මහත් පීඩාවකට පත්වෙන්න ඔහුට සිදුවෙනව.
පරදාර සේවනය හෙවත්, පරඅඹු සේවනය සමාජය තුළ පිළිකුල් බවට පත්වීමට හේතුවක්. එසේම පරපුරුෂ සේවනයත් එසේමයි. වාසනාවන්ත යුග ජීවිතයක් ගත කිරීමට නම් පරඅඹු, පරපුරුෂ සේවනය, අනාචාරයේ යෙදීම, ආදියෙන් ඈත්විය යුතුයි. තම බිරිඳ සමග පමණක් ආදරයෙන්, සෙනෙහසින් විශ්වාසවන්ත ලෙස ජීවත්වීමත්, තම ස්වාමියා සමග විශ්වාසනීය ලෙස සෙනෙහසින් කටයුතු කිරීමත් පී‍්‍රතිමත් යුග ජීවිතයක පදනමයි.
දීම හෙවත් පරිත්‍යාගය යහපත් දෙයක්. තමන් සතු දෙයක් අනුන්ගේ යහපත පතා දීම සතුටට හේතුවක්. දුන්නොත් තමයි නැවත ලැබෙන්නේ යනුවෙන් අප අතර කියමනක් තිබෙනවා. ඔබ අනුන්ට සිනාසුනොත් අනුන් ඔබටත් සිනාසේවි. සිත සතුටින් දීම නෑ...බෑ.... නොකියා ජීවත්වීමට හේතුවක්. ආයුෂ, සැප, බල, වර්ණ, ප්‍රඥා ලැබීමට හා ධන ධාන්‍ය වස්තු සම්පත් ලැබීමටත්, පිරිස් බලය ලැබීමටත්, හේතුවක්. නොදුන්නොත්, ඒ එක දෙයක්වත් නො ලැබේවි. ලැබෙන්නේ දුප්පත්කමත් පසුතැවීමත් පමණයි.
හැකියාව තිබියදීත් තම මවුපියන් පෝෂණය නොකිරීම, පවක්. වයස්ගත වූ මවුපියන්ට සතුටින් ජීවත්වීමට, මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම, පින්දහම් කර ගැනීමට අවස්ථාව සැලසීම දරුවන්ගේ යුතුකමක්. දරුවන් එසේ කරනවිට මවුපියන් සතුටු වෙනවා. අපේ දරුවන් හරි හොඳයි, අපට සලකනවා යැයි ඔවුන් සිතනවා. ඒ සමගම ඔවුන් අපේ දරුවන්ට තව තවත් හරියන්ට ඕනෑයැයි සිතනවා. දරුවන්ට ලැබෙන මවුපිය ආශිර්වාදය ඒකයි. එනිසා දරුවන් සිතන පතන දේ සාර්ථක වෙනවා. මවුපියන්ට නො සලකන කොට ඒ මවුපිය ආශිර්වාදය ලැබෙන්නේ නෑ. මවුපිය සැලකීම නොකරන තැනැත්තාට පසුව දුක්වීමට සිදුවෙනවා. තම යුතුකම ඉටු කළේ නැතැයි සිතමින් තමන් ද වයස්ගත වූ විට තමන්ටත් තම දරුවන් නො සලකන තත්ත්වයක් ඇතිවෙනවා. එවිට කෙසේද සතුටක් ලැබෙන්නේ. ලැබෙන්නේ පසුතැවීම පමණයි.
අපගේ ගුරුවරුන් මෙන්ම දෙමවුපිය වැඩිහිටියන් අපට වඩා වයසින්, දැනුමෙන් අත්දැකීම්වලින් වැඩියි. ඕනෑම වැඩකදී ඔවුන්ගේ එවැනි උපදෙස් ලැබීම කීකරු අයෙකුගේ ලක්ෂණයක්. දියුණු වන්නෙකුගේ ලක්ෂණයක්. තමා හරියැයි ද තමාගේ හිතුමතේ වැඩකර, පසුව එම වැඩවල අඩුපාඩු මෙන්ම අසාර්ථකකම් දුටුවම පසුතැවෙන්නට සිදුවෙන අවස්ථා තිබෙනවා. වැඩිහිටි උපදෙස් ලැබීම ඔවුන්ගේ ආශිර්වාදය ලැබීමටත් හේතුවක්.
ජීවිතයක සාර්ථකත්වයට හොඳ ආශ්‍රය ඉතා වැදගත්. එනිසා කුඩාකල සිටම හොඳ ආශ්‍රයට යොමුවිය යුතුයි. ශීලාචාර ගති පැවැතුම් ඇති අය සිල්වතුන් ලෙස සැලකෙනවා. ඔවුන්ගේ සිතිවිලි යහපත්, වචන යහපත්, ක්‍රියාවන් යහපත්. එවැනි අයගේ ඇසුරින් තමන්ටත්, එවැනි හොඳ දේ හුරු වෙනවා. ළමා අවධියේදී විශේෂයෙන්ම ආශ්‍රයෙන් හා දැකීමෙන් ග්‍රහණය කර ගන්න දේ වැඩියි. ඒ අවධියේ යහපත් ආශ්‍රයට වැටුණොත් හොඳ දේ ග්‍රහණය කර ගන්නවා. එනිසා තමයි කුඩා අවධියේම අපේ දරුවන් පන්සලට, ගරුතර මහ සංඝරත්නයේ ආශ්‍රයට යොමුකළ යුත්තේ. බෞද්ධයින් පන්සලේ ඇසුර තුළින් ඈත් වුණොත් ජීවිතයේ බොහෝ අඩුපාඩුකම් දකින්නට ලැබෙනවා. විවිධ අඩුපාඩුකම් සකසා ගෙන දිවිගමන සාර්ථක කරගත හැක්කේ සිල්වතුන්ගේ ඇසුරෙන්මයි. එයින් ඈත් වුවහොත් දිවිගමන අසාර්ථක වෙනවා. පසුතැවීම ඇතිවෙනවා.
පසුතැවීමට හේතුවන දසවන කරුණ නම් ත්‍රිවිධ සුචරිතයන්හි නො යෙදීමයි. කරුණාව, දයාව මෛත්‍රිය වැනි උදාර ගති සිතෙහි ඇතිකර ගැනීම, ගුණධර්මවලින් මනස පෝෂණය කර ගැනීම ඉතා වැදගත්. මනස යහපත් වූ විට, කයින් කෙරෙන සියලු ක්‍රියාවන් යහපත් වෙනවා. වචනය යහපත් වෙනවා. තිදොර සංවර කරගත්විට සමාජයට ප්‍රයෝජනවත් අයෙකු වෙනවා. එවැනි අයෙකුට කවුරුත් කැමතියි. ඔහුගේ සියලු කටයුතු සපලවීමට ත්‍රිවිධ සුචරිතයන් ඉතා වැදගත්. ත්‍රිවිධ සුචරිතයන්හි නොයෙදීම මෙලොවත් පරලොවත් අසාර්ථක වීමට හා පසුතැවීමට හේතුවෙනවා.
පසුව පසුතැවීමට හේතුවන ඉහත සඳහන් කරුණු වලින් ඈත් වූ අයෙකුට මුළු ජීවිත කාලය පුරාමත්, ඉන් පසුව පරලොවත් සැනසීමට හැකිවෙයි. එනිසා පින්වතුනි පසුව පසුතැවීමට නොව පසුව සැනසීමට හේතුවන කරුණු අනුගමනය කර, මෙලොවත්, පරලොවත් සැනසුම ලැබීමට උත්සාහ කරන්න.
No comments:
Post a Comment