ධර්මාවබෝධයට කැමති වෙමු
ධර්මය අවබෝධ කරගැනීමේ කැමැත්ත අපි ලඟ තියෙන්ට ඕනැ. ධර්මාවබෝධ කිරීමේ කැමැත්ත නැත්නම් අපේ හිත පිරිසිදු කරගන්ට අපිට කැමැත්තක් ඇතිවෙන්නෙ නෑ. එතකොට හිතේ තියෙන අපිරිසිදු දේවල් ම වැඩි වෙලා යන ආකාරයට කටයුතු කරනව.
යමෙක් තුළ ධර්මාවබෝධය පිණිස උවමනාව නැත්නම් කැමැත්ත නැත්නම්, එයාට ධර්මාවබෝධය පිණිස උපකාර ලැබෙනකොට ඒ උපකාර සතුටු සිතින් පිළිගන්නවද? පිළිගන්නෙ නෑ. ධර්මාවබෝධය පිණිස කැමැත්ත තියෙන කෙනෙක් ඉන්නවා නම්, ඒ කැමැත්ත තියෙන කෙනා ධර්මාවබෝධය පිණිස උපකාර ලැබෙනකොට සතුටු සිතින් ඒව පිළිගන්නව. එතන තමයි අපි තේරුම්ගත යුතු දේ.
ධර්මාවබෝධය පිණිස උපකාර ලැබෙද්දී ඒ උපකාර සතුටු සිතින් පිළිගන්ට බැරි නම්, හිතට ඒක වදයක් නම්, හිත එයින් පෙළනව නම්, තේරුම්ගන්ට ඕනැ "මගේ හිත ධර්මාවබෝධය පිණිස පිහිටල නෑ, ධර්මාවබෝධයට කැමැත්ත ඉපදිලා නෑ, හිත වෙන කොහේද යන්නෙ" කියල.
ධර්මාවබෝධය පිණිස අවවාද දෙද්දීත්, ධර්මාවබෝධය පිණිස උපාකර කරද්දීත්, ධර්මාවබෝධය පිණිස උනන්දු කරවද්දීත්, යමෙක් තුළ සතුටක් එන්නෙ නැතුව එන්නෙ අකමැත්ත නම් එහෙම නැත්නම් තරහ, අමනාපය, අහිතවත් බව ම ඇතිවෙනවා නම්, පිරිස සමඟ අමනාප වෙන සිතුවිළි එනව නම්, හිත කෙලෙසන ස්වභාවයන් ඇතිවෙනව නම්, "මගේ හිත ධර්මාවබෝධය පිණිස පිහිටල නෑ, මගේ හිත ධර්මාවබෝධයට කැමැත්ත ඉපදිලා නෑ" කියල තේරුම්ගන්න.
තමන්ගෙ හිත ධර්මාවබෝධයට කැමැත්ත ඉපදිලා නැත්නම් ඒ හිත මඟින් තමාට යහපත සලසල දෙයි ද? නෑ. තමන්ට යහපත සලසන්නෙ නැත්නම් අනුන්ට යහපත සලසයි ද? නෑ. එතකොට තමාටත් අනුන්ටත් අහයපත පිණිස ම නේද අපි තුළින් යම් කටයුත්තක් කෙරුනොත් කෙරෙන්නෙ? ඒක ඉතා ම අනතුරුදායක යි.
ඒ නිසා හොඳට තේරුම්ගන්ට අපි අපේ ජීවිතය පරිවර්තනය කරගන්නෙ ඒ විදිහට කල්පනා කරල. ධර්මාවබෝධ කරන්ට උවමනා කරන අවවාද අනුශාසනා, උපකාර, දිරිගැන්වීම්, බහුල වශයෙන් ලැබෙද්දී ලැබෙද්දී, ධර්මාවබෝධයට කැමති කෙනෙකුගේ හිත සතුටට නේද පත්වෙන්ට ඕනැ? සතුටට යි පත්වෙන්ට ඕනැ. එයා ඒ පිරිස සමඟ ධාර්මිකව එකතු වෙන්ට ඕනැ.
එහෙනම් අපි ගැන මැනගන්ට හොඳ මිම්මක් මේක. ධර්මාවබෝධය පිණිස උපකාර, අනුග්‍රහ, උනන්දු කිරීම්, දිරිගැන්වීම් බහුල වශයෙන් ලැබෙද්දී අපේ හිත තුළ, හිත අපිරිසිදු කරන ධර්මාවබෝධයට බාධා කරන නිරයගාමී අකුසල් ම බලවත් වෙවී එනවා නම්, පිරිස සමඟ අකුසල සහගත විදිහට නම් මිශ්‍ර වෙන්නෙ, පිරිස සමඟ සංසිඳූනු ආකාරයට නෙවෙයි නම් මුණගැහෙන්නෙ, මුහුවෙන්නෙ, අපි එයින් මොකක් ද තේරුම්ගත යුත්තෙ? අපේ හිත ධර්මාවබෝධය පිණිස පිහිටල නෑ කියල යි. අපේ හිත තුළ ධර්මාවබෝධයට කැමැත්තක් ඇතිවෙලා නෑ. ඒකයි මේ එකිනෙකට පරස්පර දෙයක් සිද්ධ වෙන්නෙ.
එහෙනම් ඒ ආකාරයට අපේ හිත නිකෙලෙස් වීම පිණිස අවවාද ලැබෙද්දීත්, නිකෙලෙස් වීම පිණිස උපාකර ලැබෙද්දීත්, නිකෙලෙස් වීම පිණිස දිරිගැන්වීම් ලැබෙද්දීත්, අපේ හිත කෙලෙස් තුළට ම යනවා නම්, ඉරිසියාව, එකටෙක කිරීම, අහිතවත්කම, එකෙනෙකා කෙරෙහි දොස් දකින ස්වභාවය, ගුණ මකුකම, මේ ආදී අකුසල් ම අපේ හිත් තුළ බලවත් වෙනවා නම්, කැකෑරෙනවා නම්, ඉක්මනින් අපි ඒක හදා ගන්ට ඕනැ. ඉක්මනින් අපේ හිත යහපත් පැත්තට ගන්ට ඕනැ.
දැන් බලන්න දේවදත්තට ධර්මාවබෝධය පිණිස උපාකර ලැබුන, දිරි ගැන්වීම් ලැබුන, අනුග්‍රහයන් ලැබුන, ප්‍රමාණ රහිත තරම් උපාකර ලැබුන. ඒ ලැබෙද්දී ලැබෙද්දී උනත් එයා ධර්මාවබෝධය පිණිස ඒ උපාකර භාවිතා කළා ද? කළේ නෑ. ඒ උපකාර ලැබෙද්දී එයාට මොකද වුනේ? එයාගේ හිත තිබුනට වඩා අපිරිසිදු කරගත්ත. ඒකෙ විපාක විදිහට එයාට මොනවද ලැබුනෙ. ප්‍රමාණ රහිත වූ කර්කෂ දුක් විඳින්ට එයාට සිද්ධවුනා.
එහෙම වුනේ ඇයි ඒ? ධර්මාවබෝධයට කැමැත්තක් උපදවාගෙන තිබුනෙ නෑ. කැමැත්ත තිබුනා නම් එයාට මොන තරම් අනුග්‍රහ ලැබුන ද එතන? උපකාර ලැබුනෙ නෑ කියල කියන්ට බැහැ නේද? මහා උපකාර ලැබෙද්දී උනත් එයා ඒ මහා දුක් සහිත විපාකය උපදවා ගත්ත. කොතනද වරද්දා ගත්තෙ? ධර්මාවබෝධය පිණිස කැමැත්ත ඇතිකර ගත්තෙ නෑ. වෙනත් ළාමක දේවල් උදෙසා තමයි ඒ අයගෙ කැමැත්ත තිබුනෙ. ඒකෙ විපාක විදිහට තමයි ඒ බිහිසුනු, භයානක දුක් විපාක එයාට උරුම වුනේ.
ඉතින් කොයි කල වුනත්, එ කල වුනත්, මෙ කල වුනත්, අනාගතයේ දී වුනත්, යමෙකුට වැරදුනොත් වැරදෙන්නෙ කොතනින් ද? ඒ ධර්මාවබෝධය පිණිස කැමැත්ත නැත්නම්. උපකාර අවම වුනත්, උපකාර බහුල වුනත් ධර්මාවබෝධය පිණිස කැමැත්ත නැත්නම්, එයාට සුගතියවත් උපදවා ගන්ට අවස්ථාව ඉපදෙන්නෙ නෑ.
උපකාර අවම මට්ටමක තිබෙද්දී උනත් ධර්මාවබෝධයට කැමැත්ත තියෙනවා නම් එයා ධර්මය කරා යනව, ධර්මාවබෝධ කරනව, සසරින් නිදහස් වෙනව. ඒ නිසා ධර්මාවබෝධයට තියෙන කැමැත්ත කියන ඒ බලවත් කුසලය උපදවාගන්න. ඒ බලවත් සිත උපදවා ගත්තොත් ධර්මාවබෝධය කිරීමට තියෙන කැමැත්ත හොඳට උපදවා ගත්තොත්, මේ හිත් වල තියෙන නිරයගාමී අකුසල් ප්‍රහාණය කරගන්ට කාටත් පුළුවන්කම තියෙයි.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
No comments:
Post a Comment