Saturday, May 14, 2011

‘මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි’….. මේ සුන්දර වදන් පෙළ සිතෙන විට පවා කොයිතරම් ප්‍රබෝධයක්, ශ්‍රද්ධාවක් හිතේ ඇති වෙනව ද… ශාක්‍ය පුත්‍ර වූ අංගීරස වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරදුන්ගේ සම්බුදු සසුනේ පහස ලබන්නට තරම් අපි වාසනාවන්ත වුනා. ඒවා මේ ආවාට ගියාට සිද්ධවෙන දේවල් නෙවේ….. පිං බලයෙනුයි ඒ දේවල් ඒ විදියට වෙන්නේ. ඉතින් ඒ ආශ්චර්යමත් මනුෂ්‍යරත්නය අපට දායාද කළ ඒ අති උතුම් ශ්‍රී සද්ධර්මය කොතරම් නම් සුන්දර ද…… සත්‍යවාදී ද…. කොතරම් නම් ස්වාක්ඛාත ද…….. අපේ බුදු පියාණන් වහන්සේ අප ගැන කොයිතරම් නම් අනුකම්පාවෙන් ද මේ දේවල් අපට දායද කළේ…..

මේ මිහිතලය මත එදා මෙදා තුර, කාලයේ වැලිතලා වලින් සැඟව ගිය සුන්දර අතීතයක යටගියාව අනාවරණදස්සී වූ අප මුණීන්ද්‍රයන් වහන්සේ විසින් අපට කියා දෙනු ලැබුවා. ඒ පහුගිය කල්ප 91 තුළදී මේ තුන්ලොවම තම ණැන පහන් ආලෝකයෙන් ඒකාත්මික කළ අසිරිමත් මහා පුරුෂෝත්තමයින් හයදෙනෙකු ගැන. ඒ මේ මිහිමත වැඩ සිටි තවත් අසමසම බුදුවරුන් හයනමක් ගැන……

ඉතින් ඒ කල්ප අනූ එකක් ඈතට දිව යන ඒ අසිරිමත් අතීතය ගැන කතා කරන්න කලින් කල්පයක් කියන්නෙ කොයිතරම් කාලයක් ද කියල අපි මොහොතක් කතා කරමු.

දවසක් මේ ප්‍රශ්නෙම භික්ෂූන් වහන්සේ නමක් අහනවා අපේ භාග්‍යවතුන් වහන්සේගෙන්. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, කල්පයක් කියන්නේ කොයිතරම් දීර්ඝ කාලයක් ද කියලා වර්ෂ වලින් කියන්න පුළුවනි ද?”
එතකොට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා “පිංවත් භික්ෂුව, කල්පයකට මෙතරම් වර්ෂ තියෙනවා, මෙතරම් වර්ෂ ලක්ෂයක් තියෙනවා, දස ලක්ෂයක් තියෙනවා, කෝටියක් තියෙනවා, කෝටි දස ලක්ෂයක් තියෙනවා කියල කල්පයක දීර්ඝ කම කියන්න බැහැ.” ……

තවත් විටෙක උන්වහන්සේ ලස්සන උපමාවකින් කල්පයක දීර්ඝ බව මේ විදියට පෙන්නලා දෙනවා….. ඔන්න යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස මහා පර්වතයක් තියෙනවා. යම් පුද්ගලයෙක් අවුරුදු 100කට වතාවක් බොහොම සිනිඳු සේද රෙදි කඩකින් මේ පර්වතය පිරිමදිනවා. මෙහෙම පිරිමදිත් දි කාලයක් යනකොට පිරිමැදීම නිසා අර පර්වතය ගෙවී නැතිවී යනවා. ඒත් කල්පය අවසන් වෙන්නෙ නැහැ…… කල්පය ගැන අදහසක් ගන්න ප්‍රමාණවත් නේද…..? ඉතින් මේ අපි කතා කරන අසිරිමත් බුදුවරුන්ගේ ඉතිහාසය එවැනි කල්ප 91ක් දක්වා ඈතට විහිදී යනවා මේ විදියට.

මෙතැනින් කල්ප අනූ එකකට එපිට මේ මිහිමත තිබුන මනුෂ්‍ය වාසයක්. එදා ජීවත් වුන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80000ක්. (දැන් කාලෙ 80 ඇදගන්නෙත් බොහොම අමාරුවෙන්නෙ) ඉතින් මේ කාලේදි මහා පුරුෂ ලක්ෂණ 32කින් හෙබි අසිරිමත් මනුෂ්‍ය රත්නයක් පහල වුනා දඹදිව බන්ධුමතී කියන නුවර බන්ධුමාන රජුට හා බන්ධුමතී දේවියට දාව ‘විපස්සී’ නමින්. පළොල් රුක් සෙවනකදි උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කොට සම්බුදු බව පසක් කළ ඒ මහා උත්තමයන් වහන්සේට ‘ඛණ්ඩ’ හා ‘තිස්ස’ නමින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, ‘අශෝක’ නමින් අග්‍ර උපස්ථායක ස්වාමීන්වහන්සේ නමකුත් වැඩ හිටියා. උන් වහන්සේගේ ශාසනය තුළ අනන්ත අප්‍රමාණ ශ්‍රාවක පිරිසක් මේ සසර කතරින් එතෙර වුනා. කෙළවර උන්වහන්සේ ආයු සංස්කාර නිමවා උතුම් පිරිනිවනට වැඩියා. තුන් ලොව එකළු කල පහන්සිළ එලෙස නිවී ගිහින් කාලයාගේ ඇවෑමෙන් ඒ බුද්ධ ශාසනය මිහිමතින් අතුරුදන් වුනා. අවාසනාවන්ත කාලපරිච්ඡේදයක් උදා වුනා කල්ප 60ක බුදුවරු නැති…. චතුරාර්ය සත්‍ය ධර්මය කතා නොකරන,මගඵල ලාභීන් නැති, බුද්ධ ශූන්‍ය වකවානුවක්….. කල්ප 60ක්ම.

අනතුරුව, ඒ කිව්වේ මෙතනින් කල්ප 31කට එපිට උදාවුනා තවත් වාසනාවන්ත යුගයක්. මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 70000ක් මේ වෙනකොට. තවත් අසිරිමත් මනුෂ්‍ය රත්නයක් ඒ දඹදිව් තලයේම ‘සිඛී’ නමින් අරුණවතී නුවර අරුණ රජතුමාට හා ප්‍රභාවතී බිසවට දාව මෙලොව උපත ලැබුවා. මාරසේනා පරදවා හෙළඹ රුක් සෙවනකදී උතුම් සම්බෝධිය සාක්ෂාත් කළ ඒ මුණීන්ද්‍රයන් වහන්සේටත් ‘අභිභූ’ හා ‘සම්භව’ නමින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, ‘ඛේමංකර’ නම් වූ අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමකුත් වැඩ සිටියා. තුන් ලොවම අමා සිහිලෙන් නැහැවූ ඒ අමා ගඟුළ ආයු සංස්කාර නිමවූවා. කළක් ඇවෑමෙන් ඒ බුදු සසුනේ නෂ්ඨාවෂේශත් මේ මිහිමතින් අතුරුදන් වුනා ලොව දහම පසක් කරමින්.

කාලය ගත වුනා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60000 දක්වා අඩු වුනා. අපි තාම මේ කතා කරන්නෙ 31 වෙනි කල්පය ගැන. මේ 31 වෙනි කල්පයේ මිනිස්සු එතරම්ම අවාසනාවන්ත නැහැ. ඒ මොකද ‘වෙස්සභූ’ නමින් තවත් බුදු වරයකු පහළ වුනා ඒ කල්පය තුළදී ම දඹදිව් තළයේ. අනෝම නුවර තමා මේ අසිරිමත් උපත සිද්ධ වුනේ සුප්පතීත රජු හා යසවතී බිසවට දාව. ගුරු උපදේශ නොමැතිව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සාක්ෂාත් කොට සාල රුක් සෙවනකදී සම්බුද්ධත්වයට පත් ‘වෙස්සභූ’ බුදුරජාණන් වහන්සේටත් පෙර බුදුවරුන්ට පරිදිම ‘සෝන’ හා ‘උත්තර’ නමින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, ‘උපශාන්ත’ නමින් අග්‍ර උපස්ථායක හිමි නමකුත් වැඩ සිටියා. සකළ සත හට සුවය සලසා තුන්ලොවටම දම් සුවඳ පතුරා ඒ බුදු සසුනත් කෙළවර වුනා.

ඉන් පස්සේ ආයෙමත් මහා අවාසනාවන්ත යුගයක්. කල්ප 30ක්ම බුද්ධ ශූන්‍ය යි. පොඩි කාලයක් ද…… කල්පම 30ක්. ඉතින් ඒ කල්ප 30 ඇවෑමෙන් උදා වුනා අපි මේ පහල වෙලා ඉන්න මහා භද්‍ර කල්පය. පසුගිය කල්ප සියය පුරාවටම උදා වුන වාසනාවන්තම කල්පය. ඇයි එහෙම කියන්නේ කියල ඔයාලටම තේරේවි ඉතුරු ටිකත් කියවන කොට. ඉතින් කල්ප 30කට පස්සෙ උදාවුන මේ මහා භද්‍ර කල්පය ආරම්භයේදී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000ක්.

දඹදිව් තලයේම ඛේමවතී නුවර අග්ගිදත්ත බ්‍රාහ්මණ තුමාට දාව විශාඛා බ්‍රාහ්මණ තුමියගේ කුසින් මහා පින්වත් පුත් රුවණක් බිහිවුනා. මහරි රුක් සෙවනකදී සියළු කෙළෙසුන්ගෙන් මිදී අමා නිවන සාක්ෂාත් කළ ‘කකුසඳ’ නම් වූ ඒ නරෝත්තමයන් වහන්සේටත් ‘විදුර’ හා ‘සංජීව’ නමින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, ‘බුද්ධිජ’ නම් වූ අග්‍ර උපස්ථායක වනසේ නමකුත් වැඩ සිටියා. අඳුරෙහි ගිලී සිටි සත්වයාගේ ණැනස පෑදූ ඒ අමා ගඟුලත් වියැලී ගියා ආයු සංස්කාර නිමවමින්.

අපි මේ එන්නේ කල්ප 100කට ආසන්න අතීතයක ඉඳන්… මතකයි නෙ? එදා මිනිස්සුන්ගෙ ආයුෂ අවුරුදු 80000ක් තරම් කියල අපි කිව්වනෙ. ඉතින් මේ මහා භද්‍ර කල්පයේ ඒ කිව්වේ අපි මේ ජීවත් වෙන වාසනාවන්ත වූ යුගයේ දෙවන යුග පුරුෂයානන් වහන්සේගේත් බෝසත් උපතත් සිද්ධ වෙනවා ඒ දඹදිව් තළයේම සෝභවතී නුවර යඤ්ඤදත්ත බ්‍රාහ්මණ තුමාටත්, උත්තරා බ්‍රාහ්මණ තුමියටත් මව්පිය පදවි පිරිනමමින්. හැබැයි මේ කාලෙ වෙනකොට මිනිස් ආයුෂ අවුරුදු 30000 දක්වාම අඩු වෙලා. ‘කෝණාගමන’ නමින් දිඹුල් රුක් සෙවනකදී මාර පරාජය කොට උතුම් සම්බුද්ධත්වයට පත් ඒ මහා මුණීන්ද්‍රයන් වහන්සේ හටත් ‘භීය්‍යෝස’ හා ‘උත්තර’ නමින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, ‘සොත්ථිජ’ නමින් අග්‍ර උපස්ථායක ස්වාමීන් වහන්සේ නමකුත් එදා වැඩ හිටියා. තුන්ලොවට අමා පැන් බෙදා දුන් ඒ බුදු සසුනත් ලෝ දහම සාක්ෂාත් කරමින් කාලයේ වැලි යට සඟව ගියා.

ඒ වාසනාවන්ත කල්පයේ මේ මිහිමත තවත් සොඳුරු අභිමානවත් යුගයක් උදා වුනා මිනිස් ආයුෂ අවුරුදු 20000 දි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි ඒ මහා පුරුෂරත්නය දඹදිව කිකී නුවර බ්‍රහ්මදත්ත බ්‍රාහ්මණ තුමාටත්, ධනවතී භ්‍රාහ්මණතුමියටත් දාව ලොව පහල වී නුග රුක් සෙවනකදී සේනා සහිත මරු පරදවා ‘කාෂ්‍යප’ නමින් තුන්ලොව එක්සේසත් කොට ඒ මහා ධර්මරාජ්‍යය යළි බිහිකළා. ඒ ධර්මරාජ්‍යයේ සේනාධිපතිවරුන්, ඒ කියන්නෙ අග්‍රශ්‍රාවකයන් වුනේ ‘තිස්ස’ හා ‘භාරද්වාජ’ කියල උතුම් මහරහත් දෙනමක්. උපස්ථාන කලේ ‘සර්වමිත්‍ර’ නම් ස්වාමීන්වහන්සේ නමක්. ඇවිලගත් සිත් සතන් නිවාලමින් අමා දම් වැසි ඇද හැලුනා. සසරට වන් අසරණ සත්වයා සදා සැනසිල්ල ලැබුවා. කාලයාගේ ඇවෑමෙන් ඒ බුදු සසුනත් අතීතය තුළ ගිලී වැලලී ගියා කලින් වතාවල පරිද්දෙන්ම….

මිනිස්සුන්ගේ ආයුෂ වේගයෙන් අඩුවෙන්න වුනා. ආයු කාලය අවුරුදු 20000 ඉඳල 120 දක්වාම අඩු වුනා. නමුත් මතකද අපි කිව්වා මේ භද්‍ර කල්පයේ මිනිස්සු වාසනාවන්තයො කියල. ඉතින් ඒ වාසනාව මල් ඵල ගන්වමින්, පිනක මහිම මොනවාට කියපාමින් දඹදිව කපිලවස්තු නුවර සුදොවුන් රජුටත් මහාමායා දේවියටත් දාව පින්වත් පුත් රුවනක් මෙලොව එළිය දුටුවා සිද්ධාර්ථ නමින් මීට අවුරුදු 2632කට කලින්. ඇසතු රුක් මුලදී මාර පරාජය කොට උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කළ ඒ මහා නරෝත්තමයන් වහන්සේ තමයි අප මුළු හදින් සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් ‘ගෞතම’ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපටත් පිනක් තිබුනා බුද්ධ ශාසනයක් ලොව පවතින කාලයක මිනිස් උපතක් ලබන්න. අංගවිකල, මන්දබුද්ධික නොවී යහපත් සිතීමේ ශක්තියක් ඇතුව….. කළණ මිතුරන් ඇසුරේ….. අපටත් පින තිබුනා ඒ අමා වැස්සේ තෙමී නැහැවෙන්නට…. ඒ බුදු සුවඳ විඳගන්නට….. දුර්ලභව ලැබුනු මේ උතුම් අවස්ථාවේ අපි එතනින් නැවතුනොත් මේ වාසනාවන්ත යුගයේ පහල වුන අවාසනාවන්තම මිනිසුන්ගේ ගොඩට අපිත් වැටෙනවා. අපි මුලින් කතා කලානෙ පෙර කළ උන්නු බුදු වරු ගැන. ඉතින් අපි දැක්කනෙ විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කල්ප 60ක්ම බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ ආයෙත් කල්ප 30ක් බුද්ධ ශූන්‍යයි. ඉතින් අපිට අප ලද මේ වාසනාව වටහා නොගත්තොතින් ආයෙත් කවදානම් අවස්ථාවක් ලැබේවිද මේ ඉපදෙන ලෙඩවෙන මැරෙණ දුක්ඛිත සසර ගමනේ අවසානයක් දකින්නට……

මේ සසරේ බියකරු, අනියත, අනාත්ම ස්වභාවය තේරුම් ගන්න බැරිවුන ඇතැම් මෛත්‍රී බුදු සසුන පතාගෙන යනවා. මේ කල්පයේ ඈතක, දුරක, කෙළවරක සැඟවුන කොනක, නොදන්නා ඉසව්වක තියෙන….. ඇයි අපි මේ තවමත් මුලා වෙලා…….?

ගෞතම බුදු සසුනේ පහස ලද පින්වත් මිතුරනේ….. ගිලිහෙන්න දෙන්න එපා මේ අති දුර්ලභව ලද ක්ෂණය…….. අමතක කරන්න එපා අපි මේ ඉන්නේ පිරිසිදු බුදු සසුනක් ලොව පවතින සමයක කියලා. දැනවත් හිතන්න මොහොතක්…. ප්‍රමාද නොවී.

ලද උතුම් දුලභ ක්ෂණය හතුරකුගෙන්වත් ගිලිහී නොයේවා……. ඒ අනන්ත සම්මා සම්බුදු ගුණ බලයෙන්…..!!!

සදහම් ඇස් ඇති – සොඳුරු සිරිය ඇති
විපස්සී බුදුරජාණන් හට – නමස්කාර වේවා

සියළු සතුන් හට – අනුකම්පා ඇති
සිඛී බුදුරජාණන් හට – නමස්කාර වේවා

සියළු කෙළෙස් නැති – වෙර වීරිය ඇති
වෙස්සභූ බුදුරජාණන් හට – නමස්කාර වේවා

දසමර සේනා – ඔද තෙද බිඳ හළ
කකුසඳ බුදුරජාණන් හට – නමස්කාර වේවා

කෙළෙස් බැහැර කල – බඹසර නිම කළ
කෝණාගමණ බුදුරජාණන් හට – නමස්කාර වේවා

හැම කෙලෙසුන්ගෙන් – හොඳි මිදී ගිය
කස්සප බුදුරජාණන් හට – නමස්කාර වේවා

ලොවේ සියළු දුක් – මැනවින් දුරු වන
මේ සිරි සදහම් පවසා වදහළ – යම් කෙනෙකුන් වෙද
සොඳුරු සිරිය ඇති – ශාක්‍ය පුත්‍ර වූ
අංගීරස වූ අපගේ ගෞතම බුදු සමිඳුන් හට – නමස්කාර වේවා

ඒ බුදුවරු ලොව – නිවනට වැඩිසේක් ම ය
හැම දේ ගැන සැබෑ තත්ත්වය – විදසුන් කළ සේක් ම ය
ඒ නරෝත්තමයන් වහන්සේලා – පිසුණු බස් නොපවසත් ම ය
මහානුභාව සම්පන්න ම ය – සසර බිය නැති සේක් ම ය

දෙව් මිනිසුන් හට – හිතසුව සලසන
ගෞතම නම් වූ – විජ්ජාචරණ සම්පන්න වූ
මහානුභාව සම්පන්න වූ – හැම බියෙන් නිදහස් වූ
බුදුරජාණන් වහන්සේට – දෙව් මිනිසුන් නමස්කාර කරන්නා හු ය
ගෞතම නම් වූ – විජ්ජාචරණ සම්පන්න වූ
ඒ බුදුරජාණන් වහන්සේට – අපගේ නමස්කාරය වේවා…!!!

No comments:

Post a Comment