Tuesday, August 2, 2011

ත්‍රිපිටකය

බුදුන් සරණ යමු

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
‘චත්තාරෝ ලෝකේ පජ්ජෝතා -
පංචමෙත්ථන විජ්ජති
දිවා තපති ආදිච්චෝ -
රත්තිං ආභාති චංදිමා
අථ අග්ගි දිවාරත්තිං -
තත්ථ තත්ථ පකාසතී
සම්බුද්ධෝ තපතං සෙට්ඨං
ඒසා ආභා අනුත්තරාතී’

පින්වත්නි,

‘සංයුක්ත නිකායේ’ ප්‍රථම කාණ්ඩයට අයත් දේවපුත්ත සංයුත්තයේ ‘මාගධ’ සූත්‍රයෙහි ඇතුළත් ගාථා දෙකක් අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් ගන්නා ලදී.අප බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයක එක්තරා දේව පුත්‍රයකු උන්වහන්සේ ඉදිරියට පැමිණ එක්තරා ප්‍රශ්නයක් ඇසුවේ ය. එනම් භාග්‍යවතුන් වහන්ස කිසියම් දෙයකින් මේ ලෝකය බබළන්නේ ද එබඳු එළි ලෝකයෙහි කොතෙක් තිබේද? එම එළි අතුරෙන් කුමන එළියක් ප්‍රධාන වන්නේ ද? ස්වාමීනි! මෙම කරුණ පැහැදිළි කර දෙනු මැනව යනුවෙනි. එම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථා දෙක දේශනා කළ සේක.

දේවපුත්‍රය! මේ ලෝකය බබළවන එළි සතරක් ඇත. පස්වැනි එළියක් නැත. එම එළි අතරෙන් දවල් කාලයේ සූර්යාලෝකය ප්‍රධාන වෙයි. රාත්‍රී කාලයෙහි සඳුගේ ආලෝකය ප්‍රධාන වෙයි. ගින්න දවල් කාලයේ මෙන් මැ රාත්‍රී කාලයෙහි ද ඒ ඒ ස්ථානවල දී බබළයි. එහෙත් සර්වඥයන් වහන්සේ මෙම සියලු එළි අතරෙන් ප්‍රධාන වෙයි. ඒ හා සමාන වෙනත් එළියක් නොමැත යනු එම ගාථා දෙකෙහි ලිහිල් අර්ථය වේ.

මෙම කරුණම දිනක් ආනන්ද තෙරුන් අමතා ද බුදුරදුන් විසින් දේශනා කළ සේක. ආනන්දය සූර්යයා බබළන්නේ දවල් කාලයට පමණකි. චන්ද්‍රයා රාත්‍රී කාලයේ පමණක් බබළයි. දහවල බබළන්නේ නැත. රජ තුමා රජ ඇඳුමින් සැරසී සිටින විට බබළයි. රහතන් වහන්සේලා මහ පිරිසෙන් ඈත් වී සමාපත්තියට සම වැදී සිටින විට බබළයි. සර්වඥයන් වහන්සේ සියලු අඳුර දුරු කැර දිවා රැය දෙකෙහිදීම බබළති.

මෙම ගාථාවල සඳහන් ආකාරයට දවල් බබළන සූර්යයා පිළිබඳවත්, රාත්‍රියට බබළන චන්ද්‍රයා පිළිබඳවත් දිවා කාලයේ ඒ ‘ඒ’ ස්ථානවලදී බබළන ගින්න පිළිබඳවත් අපට තේරුම් ගැනීමේ අපහසුවක් නැත. මෙම සියලු බැබළීම් අතුරෙන් දිවා රැය දෙකෙහිදීමැ නිරන්තරයෙන් බබළන සර්වඥයන් වහන්සේ පිළිබඳ මෙනෙහි කිරීම මඟින් ඔබට බුද්ධානුස්සති භාවනාව සිදු කැර ගැනීමට ද හැකියාව ලැබෙයි. බුදු ගුණ මෙනෙහි කිරීම මඟින් ආනිසංස කිහිපයක්ම ලබා ගත හැකි ය. එනම් බුදුරදුන් කෙරෙහි ගෞරවය දියුණු කැර ගැනීමට හැකිවීම ශ්‍රද්ධාව දියුණු කැර ගැනීමට හැකිවීම. බුදු ගුණ අරමුණෙහිමැ සිහිය පිහිටුවා ගත හැකි වීම. භාවනා ඤාණය දියුණුවීම සිතෙහි සතුටක් ඇති කැර ගත හැකිවීම, දුක් පීඩා ඉවසා ගත හැකිවීම සර්වඥයන් වහන්සේ සමග වාසය කරමි යි කියන හැඟීම ඇති වීම සර්වඥයන් වහන්සේ අරමුණු කැර ගෙනම සිත පැවතීම, කෙළෙස් පීඩා සන්සිඳී සිතෙහි අප්‍රමාණ සැනසිල්ලක් උදා වීම ආදී ආනිසංස රැසක් ලබා ගත හැකි වේ.

බුදුරජාණන් වහන්සේ මෙලොව පවතින අන්ධකාරයන් දුරු කැරෙන උත්තමයන් වහන්සේ නමක් නිසා නිරන්තරයෙන් බැබළීමට පත් වෙති. සත්වයාගේ දසශීලය නමැති අන්ධකාරය සර්වඥයන් වහන්සේගේ සීලය නමැති තේජසින් දුරු කරයි. සත්වයාගේ දුර්ගුණ නමැති අන්ධකාරය බුදුරදුන්ගේ ගුණ නමැති තේජසින් දුරු කරයි. එසේම ප්‍රඥාව නමැති තේජසින් මෝහාන්ධකාරය දුරු කරයි. පුණ්‍ය නමැති තේජසින් පාපය නමැති අන්ධකාරය දුරු කරයි. ධර්මය නමැති තේජසින් සත්වයාගේ අධර්මය නමැති අන්ධකාරය දුරු කරයි. මෙලෙස බුදුගුණ පහක් මඟින් අන්ධකාරයන් පහක් දුරු කරයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ලොවෙහි අඳුර දුරු කැරෙමින් දිවා රාත්‍රී දෙකෙහිදීමැ බුද්ධාලෝකයෙන් බබළවති. එබැවින් බුදුරදුන්ගේ බැබළීම අන් සියලු බැබළීම් වලට වඩා ශ්‍රේෂ්ඨ වෙති. බුදුරජාණන් වහන්සේ නව අරහාදී බුදු ගුණ වලින් යුක්ත වෙති. එලෙස නව අරහාදී ගුණයන්ගෙන් යුක්ත වන්නේ බුදුරජාණන් වහන්සේ පමණකි. ඒ නිසාම දෙවියන් බඹුන් මිනිසුන් අතරෙන් සරණ යා යුතු එකම ශාස්තෘවරයා වන්නේ බුදුරජාණන් වහන්සේ පමණකි. දෙවි මිනිසුනට ශාස්තෘ වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කැර ගත් භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේම ලෝකයෙහි නිරන්තරයෙන්ම බබළති.

උන්වහන්සේගේ චරිතය තුළින් බැබළීමට පත් වෙති. උන්වහන්සේට රහත් බව ලබාගෙන සසර දුකින් නිදහස් වීමේ අවස්ථාව දීපංකර බුදුරදුන්ගේ සමයෙහි උදා වුණත් ඒ සියල්ල පසෙකලා මෙම සංසාර සාගරයෙහි ඉමක් කොණක් නොමැතිවැ දුක් විඳින අපමණ සත්ව සමූහයා දුකින් මුදවා ගැනීමේ මහා කරුණාබර හැඟීමෙන් සාරාසංක්‍ය කල්ප ලක්‍ෂයක් තිස්සේම දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ථ පාරමිතා කියන සමතිංසත් පාරමිතාවන් සපුරා බුද්ධත්වයට පත් වූයේ මෙයින් වසර දෙදහස් හයසියයකට පෙරය. එසේ බුදු බව ලබා ගැනීමෙන් පසු අවුරුදු හතළිස් පහක් තිස්සේ ගම් දනව් සිසාරා පා ගමනින් වැඩම කොට පුහුදුන් සත්වයා දුකෙන් නිදහස් කැර ගැනීමේ කාර්යය සිදු කළ සේක. ඒ නිසාම උන්වහන්සේ නිරන්තරයෙන් බැබළෙන්නාහ. බුදුගුණ අනන්තය. බුදු කෙනෙකුන් කල්පයක් තිස්සේ වෙනත් කිසිම දෙයක් දේශනා නොකර බුදුගුණ පමණක් දේශනා කළත්, කල්පය නිමාවට පත් වනවා මිසක බුදුගුණ නිමාවට පත් නොවේ. ඒ අනුව උන්වහන්සේ බුදු ගුණ වලින් බැබළීමට පත් වෙති.

වරක් සක්‍රදෙවියන් බුදුරදුන්ගේ ගුණ අටක් මෙලෙස ප්‍රකාශ කළේ ය. එනම් බුදුරදුන් තමන් වහන්සේගේ මුළු ජීවිත කාලයම දෙවියන්, මිනිසුන්, යකුන්, බඹුන් ආදී සියලු සත්වයන්ගේ යහපත වෙනුවෙන් කැප කළ සේක. උන්වහන්සේ හැරුණ විට වෙනත් කිසිම ශාස්තෘවරයකු එලෙස කර නැත. උන්වහන්සේ දේශනා කළ ධර්මය ස්වාක්ඛාත ආදී ගුණයෙන් යුක්තය. එනම් එන්න බලන්න ප්‍රත්‍යක්‍ෂ කැර ගන්න. ඒ අවස්ථාවේම ප්‍රතිඵල ලබා ගත හැකි මෙලොව මෙන්ම පරලොව අභිවෘද්ධිය සලසා ගත හැකි ධර්මයක් දේශනා කළහ. එබඳු ධර්මයක් වෙනත් කිසිවකු විසින් දේශනා කැර නොමැත. බුදුරදුන් මේවා කුසල්ය. මේවා අකුසල්ය. කළ යුතු දෙය මෙයයි. නොකළ යුතු දෙය මෙයයි. අනුගමනය කළ යුතු දෙය මෙයයි. දුරු කළ යුතු මෙයයි. ආදී වශයෙන් පෙන්වා දුන්හ. වෙනත් ශාස්තෘවරයකු මෙලෙස කටයුතු කළේ නැත. උන්වහන්සේ පෙන්වා දුන් නිවනත් එය ලබා ගත යුතු ආකාරයත් ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාවත් ගංගා සහ යමුණා නදීවල ජලය එකට ගැළපෙන අයුරින් මැනවින් ගැළපෙයි. නිවන සහ එය ලබා ගත යුතු මාර්ගයත් අනුගමනය කළ යුතු ප්‍රතිපදාවත් පෙන්වා දුන් වෙනත් ශාස්තෘවරයකු නොමැත. බුදුරජාණන් වහන්සේට ලැබුණු ලාභ කීර්ති ප්‍රසංසා අප්‍රමාණය. එලෙස ලැබුණ ලාභ කීර්ති ප්‍රසංසා පිළිබඳ කිසිඳු ඇල්මක් නොතිබුණි. වෙනත් කිසිවකු තුළින් එවැනි ගුණයක් දැකීමට නොහැකි ය.

බුදුරදුන්් ඉතා වැදගත් ශ්‍රේෂ්ඨ අනුගාමිකයන් පිරිසක් ලැබූහ. සතර මඟ සතර ඵල වලට පත් ශ්‍රාවකයන් කොපමණ හිටියත් උන්වහන්සේ හුදෙකලාවම පි‍්‍රය කළහ. එලෙස එකලාව වාසය කළ වෙනත් ශාස්තෘවරයකු පෙර සිටියේ ද නැත. මෙකල ද නැත. බුදුරදුන් යමක් කියයි නම් ඒ අයුරින්ම කරති. යමක් කරයි නම් ඒ අයුරින්ම කියති. යථාවාදී තථාකාරී ගුණය ඇත්තේ බුදුරදුන්ට පමණකි. බුදුන්වහන්සේ සියලු සැකයන් දුරු කළ සේක. අනෙකුත් මඟ පල ලාභීන් සියලු දෙනාටම තමන් ලැබූ ලෝකෝත්තර තත්ත්වයන් ගැන සැක හට ගනියි. එහෙත් බුදුරදුන්ට තමන් වහන්සේ අවබෝධ කරගත් බුද්ධත්වය ගැන කිසිදු සැකයක් නොමැත. මේවා සක්‍ර දෙවියන් දුටු බුදු ගුණ වෙති. මෙවැනි ගුණ නිසාම බුදුරදුන් දිවා රැය දෙකෙහිමැ නිරන්තරයෙන් බැබළීමට පත් වෙති.

බුදුරදුන්ගේ ශරීර ලක්‍ෂණ නිසාද බැබළීමට පත් වෙති. බුදුරජාණන් වහන්සේට තිබුණේ අසාමාන්‍ය ශරීර ලක්‍ෂණයකි. උන්වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් සහ අසූවක් අනු භ්‍යන්ජනයන්ගෙන් යුක්ත වන්නාහ. බොහෝ දෙනා උන්වහන්සේගේ රූප සම්පත්තිය දැකීමෙන්ම පැහැදීමට පත් විය. ඇතැම් සැඩ පරුෂ අය පවා උන්වහන්සේගේ අසාමාන්‍ය රූප සම්පත්තිය දැකීමෙන් පැහැදීමට පත්වී යහපත් පුද්ගලයන් බවට පත් වූහ. ඒ අනුව රූප සම්පත්තිය අනුව උන්වහන්සේ දිවා රැය බැබළීමට පත් වූහ.

මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ සර්වඥයන් වහන්සේ මෙලොව අන් සියලු දෙයටම වඩා බැබළෙන බවයි. උන්වහන්සේගේ බැබළීම පිළිබඳ මෙනෙහි කිරීම ඉතා වැදගත් වන අතර එය ‘බුද්ධානුස්සති’ කමටහන වශයෙන් හඳුන්වයි. ඒ අතරම බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපදියි නම් එය බුදුන්දැකීම හා සමාන වන බව උන්වහන්සේ පෙන්වා වදාළහ. යමෙක් ධර්මය දකියි නම් හෙතෙම බුදුන් දැක්කා හා සමාන වේ, යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එබැවින් පින්වත 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මෙම කාලය තුළ බුදුරදුන් දේශනා කළ ධර්මය ඇසීමෙන් එම ධර්මය අනුව පිළිපැදීමෙන් ඔබට බුදුන් දැකිය හැකි වන බව සිතන්න. එය සැබෑ ලෙස සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම බවට පත් වෙයි.

ඔබට උතුම් නිවන අවබෝධ වේවා!,

Sunday, May 15, 2011

දයාබර දරුවනි, සීලයේ අගය තේරුම් ගන්න

දයාබර දරුවනි, සීලයේ අගය තේරුම් ගන්න

ජයසුමනා ද සිල්වා රොබට්සන්

පින්වත් දරුවෙනි. අන් සතුදේ සොර සිතින් ගැනීමෙන් වැළකීමද මේ හා සමානව පරහිතකාමි ආකල්පයකි. කුඩා අවධියේ පටන් මාගේ දයාබර හික්‍ෂාකාමි දරු කැල පිරිසුදු චරිතයක් ගොඩනගා ගැන්මට අතිශයින්ම පරික්‍ෂාකාරී විය යුතුයි. මෙමගින් තමාට මෙන්ම, අනෙකාට ද මුළු මහත් සමාජයට ද සෙතක් වේ. ශාන්තියක් වේ. පවට ලජ්ජා භය ඇතිකර ගැන්ම, චරිත පාරිශුද්ධියට මග පෙන්වන්නකි.

මගේ දයාබර පින්වත් දරුවනි, දිනක් එක් දේවතාවෙක් ඔබගේ මහා කාරුණික, අමාමෑණි, තුන් ලෝකාග්‍ර, ශාන්තිනායක ලොව්තුරා සම්මා සම්බුදු රාජෝත්මයාණන් වහන්සේ හමුවට පැමිණ , එකත්පස්ව සිට මෙවැනි ප්‍රශ්නයක් විචාළේය. “භවත් ගෞතමයන් වහන්ස, මහලුවිය දක්වා කෙනෙකුගේ යහපත උදෙසා පවත්නේ කුමක්ද?

“දිව්‍ය පුත්‍රය, මහලු විය දක්වා ශීලයම කෙනෙකුගේ යහපත පිණිස පවත්නේය යනු බුදුපියාණන් වහන්සේ දිව්‍ය පුත්‍රයාට දුන් පිළිතුර විය.

පින්වත් දරුවෙනි, මෙසේ, මහලු විය දක්වා ශීලය කෙනෙකුගේ යහපත පිණිස පවත්නේ්යැයි අපගේ ශාන්තිනායක සම්මා සම්බුද්ධොත්මයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ කුමක් නිසාද? ලොව පවත්නා සෑම දෙයක්ම කලින් කලට කාලානුරූපව, දේශානුරූපව මිනිස් සිතුවිලිවලට අනුරූපව, වයස් සීමාවන්ට අනුරූපව වෙනස් වේ. මාගේ භාග්‍යවත් ළමා ළපටීන්ද දන්නා පරිදි, ළදරුවා ගන්නා ආහාරය තරුණයෙකුට ද, තරුණයා ගන්නා ආහාරය මහලු වියේ පසුවන කෙනෙකුට ද සුදුසු නොවේ. එමෙන්ම ඇඳුම් සම්බන්ධයෙන් ද, කථා විලාසය, ගමන් ගන්නා ආකාරය, යනාදිය ද තත්ත්වය එසේමය. එහෙත් දයාබර දරුවෙනි, හැම කලට හා හැම අවධියටම ශීලය එකසේ වැදගත් වේ. එබැවින් ඔබගේ මහා කාරුණික ශාස්තෘවරයාණන් වහන්සේ, මහලු විය දක්වා ශීලය උචිතවේ යැයි එම දේවතාවාට මහා කරුණාවෙන් පෙන්වා වදාරා ඇත.

පින්වත් දරුවෙනි, මහානාම ශාක්‍ය පුත්‍රයාගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්, අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාරා ඇත්තේ, තිසරණ සරණ යෑමෙන් බුදු සසුනේ උපාසක යන ගරු නාමය ලබන තැනැත්තා සිල්වත් වීමෙන්ම මහා උපාසකයෙකු වන බවයි.

බෝසත් ළමා ළපටියනි, කෙනකු සිල්වත්වීමට නම් අඩු ගණනේ පංච ශීලයෙහි පිහිටා සිටිය යුතු වේ. සත්ව හිංසාවෙන, සොරකමින්, කාම මිථ්‍යාචාරයෙන් බොරු කීමෙන් හා සිහිල් විකල් කරන මත්ද්‍රව්‍යවලින්ද වැළකීම යනු පංච ශීලයෙහි පිහිටා සිටීමයි. පන්සිල් ආරක්‍ෂා කිරීමයි. බොරු කීම හැරුණු විට පරුෂ වචනයෙන් කේලාම් කීමෙන් හා හිස් වචන කථා කිරීමෙන් වැළැකීම මගින් කුඩා ඔබට වචනයෙන් සංවර විය හැක. සීලය යනු හික්මීම හෙවත් සංවරවීමයි. වචනයෙන් සංවරවීම වාචසික ශීලයෙහි පිහිටා සිටීම වේ. දයාබර දරුවෙනි, මෙසේ කයින් හා වචනයෙන් සංවරවීම ඔබ ගත කරන දැහැමි ජීවිතය ඉදිරියේ සීලානුස්සති භාවනාව වැඩීමට උපයෝගි කරගත හැකිය. සෑම සුගන්ධයක්ම අබිබවා ශීල සුගන්ධයම දස දිසා වෙහිම පැතිර යන බව මාගේ පින්වත් දරුවන් අසා කියවා තිබෙනවා නේද? අපගේ පූජනීය ග්‍රන්ථ රත්නයක් වන ධම්මපදයෙහි සඳහන් වන

“චන්දනං නගරං වාපි

උප්පලං අථ වස්සති

එතෙසා ගන්ධ ජාතානං

සීල ගෙන්‍ධා අනුත්තරො”

යනු බුදු මුවින් ප්‍රකාශිත අනර්ඝතම දේශනයකි.

මාගේ භාග්‍යවත් බෝසත් ළමයිනි, කයින් හා වචනයෙන් සිල්වත් වූ සංවරවූ තැනැත්තා කෙරෙන් නිතරම ප්‍රකට වන්නේ කරුණාව හා මෛත්‍රියයි.අවිහිංසාව ඇති තැන කරුණා, මෛත්‍රි ගුණ පෙරදැරිව පවතී. පස්පවින් වළකින තැනැත්තා තම ඇසුරට පැමිණෙන මිතුරාට සැනසුමක් ලබාදෙයි. සෙතක්ම සලසයි. කරුණා පෙරදැරිව ඔහු රැක බලා ගනියි.මේ වනාහි සත්පුරුෂයාගේ කලණ මිතුරාගේ ගති ලක්‍ෂණ වේ. මේ වනාහි කල්‍යාණ මිත්‍රයෙකු හඳුනාගත හැකි මිනුම් දණ්ඩයි.

සැදැහැවත් ළමා ළපටියනි, ඔබගේ ශාන්තිනායක මහා කාරුණික තුන්ලෝකාග්‍ර වූ ලොවුතුරා බුදු අමාමෑණියන් වහන්සේ මහා කරුණාවෙන් , මහා ප්‍රඥාවෙන්, මහා අනුකම්පාවෙන් යුතුව අප සැම වෙනුවෙන් දේශනා කොට වදාරා ඇත්තේ

’ සබ්බේ තසන්ති දණ්ඩස්ස

සබ්බෙ සං ජීවිතං පියං

අත්තානං උපමං කත්වා

න හනෙය්‍ය නඝාතයෙ”

සෑම සත්ත්වයෝම දඬුවමට බියවෙත්, මේ සැමටම ජීවිතය පි‍්‍රයය. මෙසේ තමන් හා උපමාකොට හිංසාවෙන් වැළකීම වටනේය.

පින්වත් දරුවෙනි. අන් සතුදේ සොර සිතින් ගැනීමෙන් වැළකීමද මේ හා සමානව පරහිතකාමි ආකල්පයකි. කුඩා අවධියේ පටන් මාගේ දයාබර හික්‍ෂාකාමි දරු කැල පිරිසිදු චරිතයක් ගොඩනගා ගැන්මට අතිශයින්ම පරික්‍ෂාකාරී විය යුතුයි. මෙමගින් තමාට මෙන්ම, අනෙකාට ද මුළු මහත් සමාජයට ද සෙතක් වේ. ශාන්තියක් වේ. පවට ලජ්ජා භය ඇතිකර ගැන්ම, චරිත පාරිශුද්ධියට මග පෙන්වන්නකි.

එමෙන්ම ශාරිරික මානසික නිරෝගී බව වගා වර්ධනය කරන්නකි මනා සිහි බුද්ධියට බාධා කරන්නා වූ මත්ද්‍රව්‍ය පරිහරණය කෙනෙකුගේ කායික මානසික පිරිහීමට මග පාදයි.

මෙසේ, කයින්, හා වචනයෙන් සංවරවීමට උත්සාහ කිරීම මාගේ සත්පුරුෂ, ගුණගරුක කුඩා දරුවනට අතිශය වැදගත් වේ. මුසාවෙන්, චාටු බසින්, අනෙකා රැවටීමට යොමුවන තැනැත්තා මුලින්ම රවටාගන්නේ තමාමය. අපිරිසිදු සිතින් ගලා එන වචනය මුසාවාදයක්ම වේ. ඵරුස වචනයක්ම වේ. කේලම බසක්ම වේ. හිස් වදනක්ම වේ. පහන් සිත ශ්‍රද්ධා සම්පන්න සිත මුල් කරගෙන, මනසිකාරය පිහිටුවා ගලා එන වදන් මටසිලිටු වේ. කර්ණ රසායන වේ. සමගිය වඩන සුලුවේ. අර්ථවත් වේ. සත්‍යයම වේ. මෙසේ කාය සංවරය හා වචී සංවරය මගින් ලැබෙනුයේ සැපයක්ම වේ.

‘මනසා චෙ පසන්නෙන

භාසතිවා කරොතිවා

තතො නං සුඛ මත්වෙති

ඡායාව අතපායිනී’

දයාබර දරුවෙනි. ඔබ සැමදෙන කය වචන, දෙක සංවර කර ගනිමින්, ශීලයෙන් පරිපූර්ණ වී මෙවන් සීල සුගන්ධයෙන් ජීවිතය ප්‍රබෝධමත් කරගනිමින් ප්‍රඥාව නමැති ආලෝකය කරා ගමන් කිරීමට උත්සුක වන්න. එම වටිනා අරමුණ සාක්ෂාත්කර ගැනීම සඳහා මාගේ ශ්‍රද්ධා සම්පන්න පින්වත් දරු කැලට සම්මා සම්බුදු සරණයි!

Saturday, May 14, 2011

ධර්මාවබෝධයට කැමති වෙමු

ධර්මාවබෝධයට කැමති වෙමු

ධර්මය අවබෝධ කරගැනීමේ කැමැත්ත අපි ලඟ තියෙන්ට ඕනැ. ධර්මාවබෝධ කිරීමේ කැමැත්ත නැත්නම් අපේ හිත පිරිසිදු කරගන්ට අපිට කැමැත්තක් ඇතිවෙන්නෙ නෑ. එතකොට හිතේ තියෙන අපිරිසිදු දේවල් ම වැඩි වෙලා යන ආකාරයට කටයුතු කරනව.

යමෙක් තුළ ධර්මාවබෝධය පිණිස උවමනාව නැත්නම් කැමැත්ත නැත්නම්, එයාට ධර්මාවබෝධය පිණිස උපකාර ලැබෙනකොට ඒ උපකාර සතුටු සිතින් පිළිගන්නවද? පිළිගන්නෙ නෑ. ධර්මාවබෝධය පිණිස කැමැත්ත තියෙන කෙනෙක් ඉන්නවා නම්, ඒ කැමැත්ත තියෙන කෙනා ධර්මාවබෝධය පිණිස උපකාර ලැබෙනකොට සතුටු සිතින් ඒව පිළිගන්නව. එතන තමයි අපි තේරුම්ගත යුතු දේ.

ධර්මාවබෝධය පිණිස උපකාර ලැබෙද්දී ඒ උපකාර සතුටු සිතින් පිළිගන්ට බැරි නම්, හිතට ඒක වදයක් නම්, හිත එයින් පෙළනව නම්, තේරුම්ගන්ට ඕනැ "මගේ හිත ධර්මාවබෝධය පිණිස පිහිටල නෑ, ධර්මාවබෝධයට කැමැත්ත ඉපදිලා නෑ, හිත වෙන කොහේද යන්නෙ" කියල.

ධර්මාවබෝධය පිණිස අවවාද දෙද්දීත්, ධර්මාවබෝධය පිණිස උපාකර කරද්දීත්, ධර්මාවබෝධය පිණිස උනන්දු කරවද්දීත්, යමෙක් තුළ සතුටක් එන්නෙ නැතුව එන්නෙ අකමැත්ත නම් එහෙම නැත්නම් තරහ, අමනාපය, අහිතවත් බව ම ඇතිවෙනවා නම්, පිරිස සමඟ අමනාප වෙන සිතුවිළි එනව නම්, හිත කෙලෙසන ස්වභාවයන් ඇතිවෙනව නම්, "මගේ හිත ධර්මාවබෝධය පිණිස පිහිටල නෑ, මගේ හිත ධර්මාවබෝධයට කැමැත්ත ඉපදිලා නෑ" කියල තේරුම්ගන්න.

තමන්ගෙ හිත ධර්මාවබෝධයට කැමැත්ත ඉපදිලා නැත්නම් ඒ හිත මඟින් තමාට යහපත සලසල දෙයි ද? නෑ. තමන්ට යහපත සලසන්නෙ නැත්නම් අනුන්ට යහපත සලසයි ද? නෑ. එතකොට තමාටත් අනුන්ටත් අහයපත පිණිස ම නේද අපි තුළින් යම් කටයුත්තක් කෙරුනොත් කෙරෙන්නෙ? ඒක ඉතා ම අනතුරුදායක යි.

ඒ නිසා හොඳට තේරුම්ගන්ට අපි අපේ ජීවිතය පරිවර්තනය කරගන්නෙ ඒ විදිහට කල්පනා කරල. ධර්මාවබෝධ කරන්ට උවමනා කරන අවවාද අනුශාසනා, උපකාර, දිරිගැන්වීම්, බහුල වශයෙන් ලැබෙද්දී ලැබෙද්දී, ධර්මාවබෝධයට කැමති කෙනෙකුගේ හිත සතුටට නේද පත්වෙන්ට ඕනැ? සතුටට යි පත්වෙන්ට ඕනැ. එයා ඒ පිරිස සමඟ ධාර්මිකව එකතු වෙන්ට ඕනැ.

එහෙනම් අපි ගැන මැනගන්ට හොඳ මිම්මක් මේක. ධර්මාවබෝධය පිණිස උපකාර, අනුග්‍රහ, උනන්දු කිරීම්, දිරිගැන්වීම් බහුල වශයෙන් ලැබෙද්දී අපේ හිත තුළ, හිත අපිරිසිදු කරන ධර්මාවබෝධයට බාධා කරන නිරයගාමී අකුසල් ම බලවත් වෙවී එනවා නම්, පිරිස සමඟ අකුසල සහගත විදිහට නම් මිශ්‍ර වෙන්නෙ, පිරිස සමඟ සංසිඳූනු ආකාරයට නෙවෙයි නම් මුණගැහෙන්නෙ, මුහුවෙන්නෙ, අපි එයින් මොකක් ද තේරුම්ගත යුත්තෙ? අපේ හිත ධර්මාවබෝධය පිණිස පිහිටල නෑ කියල යි. අපේ හිත තුළ ධර්මාවබෝධයට කැමැත්තක් ඇතිවෙලා නෑ. ඒකයි මේ එකිනෙකට පරස්පර දෙයක් සිද්ධ වෙන්නෙ.

එහෙනම් ඒ ආකාරයට අපේ හිත නිකෙලෙස් වීම පිණිස අවවාද ලැබෙද්දීත්, නිකෙලෙස් වීම පිණිස උපාකර ලැබෙද්දීත්, නිකෙලෙස් වීම පිණිස දිරිගැන්වීම් ලැබෙද්දීත්, අපේ හිත කෙලෙස් තුළට ම යනවා නම්, ඉරිසියාව, එකටෙක කිරීම, අහිතවත්කම, එකෙනෙකා කෙරෙහි දොස් දකින ස්වභාවය, ගුණ මකුකම, මේ ආදී අකුසල් ම අපේ හිත් තුළ බලවත් වෙනවා නම්, කැකෑරෙනවා නම්, ඉක්මනින් අපි ඒක හදා ගන්ට ඕනැ. ඉක්මනින් අපේ හිත යහපත් පැත්තට ගන්ට ඕනැ.

දැන් බලන්න දේවදත්තට ධර්මාවබෝධය පිණිස උපාකර ලැබුන, දිරි ගැන්වීම් ලැබුන, අනුග්‍රහයන් ලැබුන, ප්‍රමාණ රහිත තරම් උපාකර ලැබුන. ඒ ලැබෙද්දී ලැබෙද්දී උනත් එයා ධර්මාවබෝධය පිණිස ඒ උපාකර භාවිතා කළා ද? කළේ නෑ. ඒ උපකාර ලැබෙද්දී එයාට මොකද වුනේ? එයාගේ හිත තිබුනට වඩා අපිරිසිදු කරගත්ත. ඒකෙ විපාක විදිහට එයාට මොනවද ලැබුනෙ. ප්‍රමාණ රහිත වූ කර්කෂ දුක් විඳින්ට එයාට සිද්ධවුනා.

එහෙම වුනේ ඇයි ඒ? ධර්මාවබෝධයට කැමැත්තක් උපදවාගෙන තිබුනෙ නෑ. කැමැත්ත තිබුනා නම් එයාට මොන තරම් අනුග්‍රහ ලැබුන ද එතන? උපකාර ලැබුනෙ නෑ කියල කියන්ට බැහැ නේද? මහා උපකාර ලැබෙද්දී උනත් එයා ඒ මහා දුක් සහිත විපාකය උපදවා ගත්ත. කොතනද වරද්දා ගත්තෙ? ධර්මාවබෝධය පිණිස කැමැත්ත ඇතිකර ගත්තෙ නෑ. වෙනත් ළාමක දේවල් උදෙසා තමයි ඒ අයගෙ කැමැත්ත තිබුනෙ. ඒකෙ විපාක විදිහට තමයි ඒ බිහිසුනු, භයානක දුක් විපාක එයාට උරුම වුනේ.

ඉතින් කොයි කල වුනත්, එ කල වුනත්, මෙ කල වුනත්, අනාගතයේ දී වුනත්, යමෙකුට වැරදුනොත් වැරදෙන්නෙ කොතනින් ද? ඒ ධර්මාවබෝධය පිණිස කැමැත්ත නැත්නම්. උපකාර අවම වුනත්, උපකාර බහුල වුනත් ධර්මාවබෝධය පිණිස කැමැත්ත නැත්නම්, එයාට සුගතියවත් උපදවා ගන්ට අවස්ථාව ඉපදෙන්නෙ නෑ.

උපකාර අවම මට්ටමක තිබෙද්දී උනත් ධර්මාවබෝධයට කැමැත්ත තියෙනවා නම් එයා ධර්මය කරා යනව, ධර්මාවබෝධ කරනව, සසරින් නිදහස් වෙනව. ඒ නිසා ධර්මාවබෝධයට තියෙන කැමැත්ත කියන ඒ බලවත් කුසලය උපදවාගන්න. ඒ බලවත් සිත උපදවා ගත්තොත් ධර්මාවබෝධය කිරීමට තියෙන කැමැත්ත හොඳට උපදවා ගත්තොත්, මේ හිත් වල තියෙන නිරයගාමී අකුසල් ප්‍රහාණය කරගන්ට කාටත් පුළුවන්කම තියෙයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

අපි අපි ගැන ම සොයා බලමු

අපි අපි ගැන ම සොයා බලමු

අපි ධර්මය පුරුදු කරනවා කියල විවිධ කටයුතු කරද්දී අකුසල් ප්‍රහාණය වීමක් වෙන්නෙ නැත්නම්, නොතිබුනු අකුසල් ඉපදෙනවා නම්, තිබුනු අකුසල් බලවත් වෙනවා නම්, අපි ධර්මය පුරුදු කරල නෑ. දැන් දේවදත්ත සිල් සමාදන් වුනා ද නැද්ද? සමාදන් වුනා. සමාදන් වූ සිල් පද රැක්කද නැද්ද? සිල් රැක්ක.

එයත් බණ ඇහුව ද නැද්ද? ඇහුව. එයා බණ කිව්ව ද නැද්ද? කිව්ව. අන් අයට සිල් සමාදන් කෙරෙව්ව ද නැද්ද? සමාදන් කෙරෙව්ව. ඊට පස්සෙ එයා පින්ඩපාතෙ වැඩිය ද නැද්ද? වැඩිය. ඊලඟට එයා භාවනා කළා ද නැද්ද? භාවනා කළා. එයා සක්මන් කළා ද නැද්ද? සක්මන් කළා. ධර්ම සාකච්ඡා කළා ද නැද්ද? කළා.

සමාධිය ඉපදුව ද නැද්ද? උපදවා ගත්ත. ධර්මය පුරුදු කරනවා කියල යමෙක් කරන්නා වූ කටයුතු එයා කරගෙන ගියා. නමුත් එයා ගියෙ කොහෙට ද? ප්‍රමාණ රහිත වූ කර්කෂ දුක් විඳින්ට එයාට සිද්ධ වුනා. ඒ නිසා ඒ ධර්මය පුරුදු කිරීම පිණිස කරන කටයුතු වල බාහිර පෙනෙන දේ පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ.

බාහිරට පේනවා අපි සිල් සමාදන් වෙලා ඉන්නව. නමුත් අපේ අභ්‍යන්තරය තමයි සොයා බැලිය යුත්තෙ. අපි මේ ධර්මය පුරුදු කිරීම පිණිස කරන්නා වූ කටයුතු කරද්දී අභ්‍යන්තරයට මොකද වෙන්නෙ කියල බැලිය යුතුයි. බාහිරින් අපි බැලුවොත් අපිට පේන්නෙ ධර්මය පුරුදු කරනවා කියල යම් යම් කටයුතු කරනව කියල යි.

බාහිර පැත්ත තමයි අපි බලන්නෙ. බලනකොට පේනව, අහවලා මට දොස් කිව්ව, අහවලා මාව පිළිගත්තෙ නෑ. බාහිරින් බැලුවොත් පේන්නෙ ඕව. ඒක මේ වගේ, ගෙදර අහුමුලු බලන්නෙ නෑ කෙනෙක්. පාරෙ ගිහින් බලනව කුණු දාල ද කියල.

අල්ලපු වත්ත බලනව ගිහිල්ල. "අන්න පෙනෙයි ද ජරාව වල් බිහිවෙලා" කියල. එතකොට තමන්ගෙ ගෙදර දේ හොයල බලන්නෙ නෑ. මොකද වෙන්නෙ? මොහොතින් මොහොත, දවසින් දවස තමාගෙ නිවස කිළිටි වෙලා යනව. ඒ නිසා අපි තමාගේ නිවස ගැන සොයල බැලිය යුතු යි.

ඒ නිසා කව්රුත් තේරුම් ගන්න ධර්මාවබෝධය පිණිස වුවමනා කරන කටයුතු කරගෙන යන අතර සොයල බැලිය යුතුයි තමන්ගෙ හිත ගැනත්. හොයල බලන්ට ඕනැ තමන්ගෙ හිත තුළ කාමච්ඡන්දය තියෙනවද? බහුල වශයෙන් තියෙනව ද? තරහ, ව්‍යාපාදය හිතේ තියෙනවද බහුල වශයෙන් හිතේ තියෙනව ද? ඒ තරහ, ව්‍යාපාදයට හිත යටවෙලා තියෙනව ද? මේ විදිහට යි බලන්ට ඕනැ.

ථීනමිද්දය හිතේ තියෙනව ද? ථීනමිද්දය බලවත් ව තියෙනව ද? ථීනමිද්දයට යටවෙලා හිත තියෙනව ද? කියල බලන්න ඕනැ. එකටෙක කරන ස්වභාවය හිතේ තියෙනව ද? කියල බලන්න. ඒ ස්වභාවයට හිත යටවෙලා තියෙනව ද? බහුල වශයෙන් යටවෙලා තිියෙනව ද? කියල බලන්න. ඊරිසියාව හිතේ තියෙනව ද? බලන්න.

ඊරිසියාව බහුල වශයෙන් තියෙනව ද? බලන්න. ඊරිසියාවට යටවෙච්ච හිත තියෙනව ද? කියල බලන්න. අනුන්ගේ ඇද කුද හොයන ස්වභාවය හිතේ තියෙනව ද? කියල බලන්න. ඒ ස්වභාවයට හිත යටවෙලා තියෙනව ද? කියල බලන්න. ගුණ මකන ස්වභාවය හිතේ තියෙනව ද? බලන්න. ඒ ස්වභාවයට හිත යටවෙලා තියෙනව ද? බලන්න.

ඒ විදිහට තමන්ගෙ හිතේ මේ නිරයගාමී විදිහට හිත කෙලෙසන කිළිටි ස්වභාවයන් තියෙනව ද? කියල විමසල බලන්න. එහෙම විමසල බලමින් ඒවා බැහැර කරගැනීම පිණිස කැමැත්ත උපදවාගෙන කටයුතු කරන්න. දැන් ඔබ විමස විමසා බලන්නෙ ඔබගෙ හිත ගැන නේද? ඔබගෙ හිත තුළ ම තියෙන කිළිටි ස්වභාවයන් ගැන විමස විමසා බලනව. බලමින් ඒව බැහැර කරගන්ට කටයුතු කරනව.

එතකොට කලක් ඒ විදිහට කටයුතු කරමින් යනකොට ඔබට මොකක් ද තේරෙන්නෙ? ආරම්භයේදී ඔබට තේරෙයි තමන්ගෙ හිතේ ඊරිසියාව තියෙනව. එකටෙක කරන ගතිය තියෙනවා. ආඩම්බරය තියෙනවා. ඇද හොයන ගතිය තියෙනවා තේරෙයි. තරහ, වෛරය, ඊරිසියාව මේව තියෙනව තේරෙයි.

එතකොට මේ අකුසලයන් අඳූනගෙන බැහැර කරගැනීම පිණිස කටයුතු කරන කෙනා ඒ ආකාරයෙන් කලක් කටයුතු කරගෙන යනකොට එයාට තේරෙයි දැන් මගේ හිතේ තරහ නෑ, ඊරිසියාව නෑ, එකටෙක කරන ස්වභාවය නෑ, ගුණමකුකම නෑ කියල. ඒ කෙලෙස්, කිලිටි ස්වභාවය දැන් තමන්ගෙ හිත තුළ නෑ කියල එයාට තේරෙන කලක් එනව. එතකොට තමන්ගෙ හිත තුළ කිලිටි නෑ කියල තෙරෙනකොට එයා තුළ සතුටක් ඉපදෙයි ද? කණගාටුවක් ඉපදෙයි ද? සතුටක් ඉපදෙයි.

එතකොට මේ කෙලෙස් දුරුවීම එකපාරට වෙනව ද? එකපාරට වෙන්නෙ නෑ. කලක් යයි මේකට. කලක් ගත වෙද්දී ඒ අකුසල් දුරුවෙන්ට නම් එයා සෝදිසි කර කර බලන්න ඕනැ නේද? සෝදිසි කර කර බැලුවෙ නැත්නම් එයාට හොයන්ට පුළුවන් ද? හොයන්ට බෑ. ඒ නිසා මේ පිටස්තර ලෝකයට එබිකම් කරන්ට එපා. වැඩක් නෑ. තමන්ගෙ හිත කිලිටිවෙන එකමයි වෙන්නෙ.

අනුන්ගෙ කුණු ගොඩවල් පහුරුගාන අය බවට පත්වෙන්ට එපා. එතකොට තමන් කිලිටි වෙනවද? නැද්ද? කිලිටි වෙනව. තමන්ගෙ කිලිටි ගැන හොය හොයා බල බලා ඒව බැහැර කරගන්ට කල්පනා කරන්න. එතකොට යම් කලකදී මේ කාටත් ඒ කිලිටි බැහැර කරගෙන පිරිසිදු සිත් ඇති අය බවට පත්වෙන්ට පුළුවන්.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

‘මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි’….. මේ සුන්දර වදන් පෙළ සිතෙන විට පවා කොයිතරම් ප්‍රබෝධයක්, ශ්‍රද්ධාවක් හිතේ ඇති වෙනව ද… ශාක්‍ය පුත්‍ර වූ අංගීරස වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරදුන්ගේ සම්බුදු සසුනේ පහස ලබන්නට තරම් අපි වාසනාවන්ත වුනා. ඒවා මේ ආවාට ගියාට සිද්ධවෙන දේවල් නෙවේ….. පිං බලයෙනුයි ඒ දේවල් ඒ විදියට වෙන්නේ. ඉතින් ඒ ආශ්චර්යමත් මනුෂ්‍යරත්නය අපට දායාද කළ ඒ අති උතුම් ශ්‍රී සද්ධර්මය කොතරම් නම් සුන්දර ද…… සත්‍යවාදී ද…. කොතරම් නම් ස්වාක්ඛාත ද…….. අපේ බුදු පියාණන් වහන්සේ අප ගැන කොයිතරම් නම් අනුකම්පාවෙන් ද මේ දේවල් අපට දායද කළේ…..

මේ මිහිතලය මත එදා මෙදා තුර, කාලයේ වැලිතලා වලින් සැඟව ගිය සුන්දර අතීතයක යටගියාව අනාවරණදස්සී වූ අප මුණීන්ද්‍රයන් වහන්සේ විසින් අපට කියා දෙනු ලැබුවා. ඒ පහුගිය කල්ප 91 තුළදී මේ තුන්ලොවම තම ණැන පහන් ආලෝකයෙන් ඒකාත්මික කළ අසිරිමත් මහා පුරුෂෝත්තමයින් හයදෙනෙකු ගැන. ඒ මේ මිහිමත වැඩ සිටි තවත් අසමසම බුදුවරුන් හයනමක් ගැන……

ඉතින් ඒ කල්ප අනූ එකක් ඈතට දිව යන ඒ අසිරිමත් අතීතය ගැන කතා කරන්න කලින් කල්පයක් කියන්නෙ කොයිතරම් කාලයක් ද කියල අපි මොහොතක් කතා කරමු.

දවසක් මේ ප්‍රශ්නෙම භික්ෂූන් වහන්සේ නමක් අහනවා අපේ භාග්‍යවතුන් වහන්සේගෙන්. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, කල්පයක් කියන්නේ කොයිතරම් දීර්ඝ කාලයක් ද කියලා වර්ෂ වලින් කියන්න පුළුවනි ද?”
එතකොට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා “පිංවත් භික්ෂුව, කල්පයකට මෙතරම් වර්ෂ තියෙනවා, මෙතරම් වර්ෂ ලක්ෂයක් තියෙනවා, දස ලක්ෂයක් තියෙනවා, කෝටියක් තියෙනවා, කෝටි දස ලක්ෂයක් තියෙනවා කියල කල්පයක දීර්ඝ කම කියන්න බැහැ.” ……

තවත් විටෙක උන්වහන්සේ ලස්සන උපමාවකින් කල්පයක දීර්ඝ බව මේ විදියට පෙන්නලා දෙනවා….. ඔන්න යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස මහා පර්වතයක් තියෙනවා. යම් පුද්ගලයෙක් අවුරුදු 100කට වතාවක් බොහොම සිනිඳු සේද රෙදි කඩකින් මේ පර්වතය පිරිමදිනවා. මෙහෙම පිරිමදිත් දි කාලයක් යනකොට පිරිමැදීම නිසා අර පර්වතය ගෙවී නැතිවී යනවා. ඒත් කල්පය අවසන් වෙන්නෙ නැහැ…… කල්පය ගැන අදහසක් ගන්න ප්‍රමාණවත් නේද…..? ඉතින් මේ අපි කතා කරන අසිරිමත් බුදුවරුන්ගේ ඉතිහාසය එවැනි කල්ප 91ක් දක්වා ඈතට විහිදී යනවා මේ විදියට.

මෙතැනින් කල්ප අනූ එකකට එපිට මේ මිහිමත තිබුන මනුෂ්‍ය වාසයක්. එදා ජීවත් වුන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80000ක්. (දැන් කාලෙ 80 ඇදගන්නෙත් බොහොම අමාරුවෙන්නෙ) ඉතින් මේ කාලේදි මහා පුරුෂ ලක්ෂණ 32කින් හෙබි අසිරිමත් මනුෂ්‍ය රත්නයක් පහල වුනා දඹදිව බන්ධුමතී කියන නුවර බන්ධුමාන රජුට හා බන්ධුමතී දේවියට දාව ‘විපස්සී’ නමින්. පළොල් රුක් සෙවනකදි උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කොට සම්බුදු බව පසක් කළ ඒ මහා උත්තමයන් වහන්සේට ‘ඛණ්ඩ’ හා ‘තිස්ස’ නමින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, ‘අශෝක’ නමින් අග්‍ර උපස්ථායක ස්වාමීන්වහන්සේ නමකුත් වැඩ හිටියා. උන් වහන්සේගේ ශාසනය තුළ අනන්ත අප්‍රමාණ ශ්‍රාවක පිරිසක් මේ සසර කතරින් එතෙර වුනා. කෙළවර උන්වහන්සේ ආයු සංස්කාර නිමවා උතුම් පිරිනිවනට වැඩියා. තුන් ලොව එකළු කල පහන්සිළ එලෙස නිවී ගිහින් කාලයාගේ ඇවෑමෙන් ඒ බුද්ධ ශාසනය මිහිමතින් අතුරුදන් වුනා. අවාසනාවන්ත කාලපරිච්ඡේදයක් උදා වුනා කල්ප 60ක බුදුවරු නැති…. චතුරාර්ය සත්‍ය ධර්මය කතා නොකරන,මගඵල ලාභීන් නැති, බුද්ධ ශූන්‍ය වකවානුවක්….. කල්ප 60ක්ම.

අනතුරුව, ඒ කිව්වේ මෙතනින් කල්ප 31කට එපිට උදාවුනා තවත් වාසනාවන්ත යුගයක්. මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 70000ක් මේ වෙනකොට. තවත් අසිරිමත් මනුෂ්‍ය රත්නයක් ඒ දඹදිව් තලයේම ‘සිඛී’ නමින් අරුණවතී නුවර අරුණ රජතුමාට හා ප්‍රභාවතී බිසවට දාව මෙලොව උපත ලැබුවා. මාරසේනා පරදවා හෙළඹ රුක් සෙවනකදී උතුම් සම්බෝධිය සාක්ෂාත් කළ ඒ මුණීන්ද්‍රයන් වහන්සේටත් ‘අභිභූ’ හා ‘සම්භව’ නමින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, ‘ඛේමංකර’ නම් වූ අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමකුත් වැඩ සිටියා. තුන් ලොවම අමා සිහිලෙන් නැහැවූ ඒ අමා ගඟුළ ආයු සංස්කාර නිමවූවා. කළක් ඇවෑමෙන් ඒ බුදු සසුනේ නෂ්ඨාවෂේශත් මේ මිහිමතින් අතුරුදන් වුනා ලොව දහම පසක් කරමින්.

කාලය ගත වුනා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60000 දක්වා අඩු වුනා. අපි තාම මේ කතා කරන්නෙ 31 වෙනි කල්පය ගැන. මේ 31 වෙනි කල්පයේ මිනිස්සු එතරම්ම අවාසනාවන්ත නැහැ. ඒ මොකද ‘වෙස්සභූ’ නමින් තවත් බුදු වරයකු පහළ වුනා ඒ කල්පය තුළදී ම දඹදිව් තළයේ. අනෝම නුවර තමා මේ අසිරිමත් උපත සිද්ධ වුනේ සුප්පතීත රජු හා යසවතී බිසවට දාව. ගුරු උපදේශ නොමැතිව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සාක්ෂාත් කොට සාල රුක් සෙවනකදී සම්බුද්ධත්වයට පත් ‘වෙස්සභූ’ බුදුරජාණන් වහන්සේටත් පෙර බුදුවරුන්ට පරිදිම ‘සෝන’ හා ‘උත්තර’ නමින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, ‘උපශාන්ත’ නමින් අග්‍ර උපස්ථායක හිමි නමකුත් වැඩ සිටියා. සකළ සත හට සුවය සලසා තුන්ලොවටම දම් සුවඳ පතුරා ඒ බුදු සසුනත් කෙළවර වුනා.

ඉන් පස්සේ ආයෙමත් මහා අවාසනාවන්ත යුගයක්. කල්ප 30ක්ම බුද්ධ ශූන්‍ය යි. පොඩි කාලයක් ද…… කල්පම 30ක්. ඉතින් ඒ කල්ප 30 ඇවෑමෙන් උදා වුනා අපි මේ පහල වෙලා ඉන්න මහා භද්‍ර කල්පය. පසුගිය කල්ප සියය පුරාවටම උදා වුන වාසනාවන්තම කල්පය. ඇයි එහෙම කියන්නේ කියල ඔයාලටම තේරේවි ඉතුරු ටිකත් කියවන කොට. ඉතින් කල්ප 30කට පස්සෙ උදාවුන මේ මහා භද්‍ර කල්පය ආරම්භයේදී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000ක්.

දඹදිව් තලයේම ඛේමවතී නුවර අග්ගිදත්ත බ්‍රාහ්මණ තුමාට දාව විශාඛා බ්‍රාහ්මණ තුමියගේ කුසින් මහා පින්වත් පුත් රුවණක් බිහිවුනා. මහරි රුක් සෙවනකදී සියළු කෙළෙසුන්ගෙන් මිදී අමා නිවන සාක්ෂාත් කළ ‘කකුසඳ’ නම් වූ ඒ නරෝත්තමයන් වහන්සේටත් ‘විදුර’ හා ‘සංජීව’ නමින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, ‘බුද්ධිජ’ නම් වූ අග්‍ර උපස්ථායක වනසේ නමකුත් වැඩ සිටියා. අඳුරෙහි ගිලී සිටි සත්වයාගේ ණැනස පෑදූ ඒ අමා ගඟුලත් වියැලී ගියා ආයු සංස්කාර නිමවමින්.

අපි මේ එන්නේ කල්ප 100කට ආසන්න අතීතයක ඉඳන්… මතකයි නෙ? එදා මිනිස්සුන්ගෙ ආයුෂ අවුරුදු 80000ක් තරම් කියල අපි කිව්වනෙ. ඉතින් මේ මහා භද්‍ර කල්පයේ ඒ කිව්වේ අපි මේ ජීවත් වෙන වාසනාවන්ත වූ යුගයේ දෙවන යුග පුරුෂයානන් වහන්සේගේත් බෝසත් උපතත් සිද්ධ වෙනවා ඒ දඹදිව් තළයේම සෝභවතී නුවර යඤ්ඤදත්ත බ්‍රාහ්මණ තුමාටත්, උත්තරා බ්‍රාහ්මණ තුමියටත් මව්පිය පදවි පිරිනමමින්. හැබැයි මේ කාලෙ වෙනකොට මිනිස් ආයුෂ අවුරුදු 30000 දක්වාම අඩු වෙලා. ‘කෝණාගමන’ නමින් දිඹුල් රුක් සෙවනකදී මාර පරාජය කොට උතුම් සම්බුද්ධත්වයට පත් ඒ මහා මුණීන්ද්‍රයන් වහන්සේ හටත් ‘භීය්‍යෝස’ හා ‘උත්තර’ නමින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, ‘සොත්ථිජ’ නමින් අග්‍ර උපස්ථායක ස්වාමීන් වහන්සේ නමකුත් එදා වැඩ හිටියා. තුන්ලොවට අමා පැන් බෙදා දුන් ඒ බුදු සසුනත් ලෝ දහම සාක්ෂාත් කරමින් කාලයේ වැලි යට සඟව ගියා.

ඒ වාසනාවන්ත කල්පයේ මේ මිහිමත තවත් සොඳුරු අභිමානවත් යුගයක් උදා වුනා මිනිස් ආයුෂ අවුරුදු 20000 දි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි ඒ මහා පුරුෂරත්නය දඹදිව කිකී නුවර බ්‍රහ්මදත්ත බ්‍රාහ්මණ තුමාටත්, ධනවතී භ්‍රාහ්මණතුමියටත් දාව ලොව පහල වී නුග රුක් සෙවනකදී සේනා සහිත මරු පරදවා ‘කාෂ්‍යප’ නමින් තුන්ලොව එක්සේසත් කොට ඒ මහා ධර්මරාජ්‍යය යළි බිහිකළා. ඒ ධර්මරාජ්‍යයේ සේනාධිපතිවරුන්, ඒ කියන්නෙ අග්‍රශ්‍රාවකයන් වුනේ ‘තිස්ස’ හා ‘භාරද්වාජ’ කියල උතුම් මහරහත් දෙනමක්. උපස්ථාන කලේ ‘සර්වමිත්‍ර’ නම් ස්වාමීන්වහන්සේ නමක්. ඇවිලගත් සිත් සතන් නිවාලමින් අමා දම් වැසි ඇද හැලුනා. සසරට වන් අසරණ සත්වයා සදා සැනසිල්ල ලැබුවා. කාලයාගේ ඇවෑමෙන් ඒ බුදු සසුනත් අතීතය තුළ ගිලී වැලලී ගියා කලින් වතාවල පරිද්දෙන්ම….

මිනිස්සුන්ගේ ආයුෂ වේගයෙන් අඩුවෙන්න වුනා. ආයු කාලය අවුරුදු 20000 ඉඳල 120 දක්වාම අඩු වුනා. නමුත් මතකද අපි කිව්වා මේ භද්‍ර කල්පයේ මිනිස්සු වාසනාවන්තයො කියල. ඉතින් ඒ වාසනාව මල් ඵල ගන්වමින්, පිනක මහිම මොනවාට කියපාමින් දඹදිව කපිලවස්තු නුවර සුදොවුන් රජුටත් මහාමායා දේවියටත් දාව පින්වත් පුත් රුවනක් මෙලොව එළිය දුටුවා සිද්ධාර්ථ නමින් මීට අවුරුදු 2632කට කලින්. ඇසතු රුක් මුලදී මාර පරාජය කොට උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කළ ඒ මහා නරෝත්තමයන් වහන්සේ තමයි අප මුළු හදින් සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් ‘ගෞතම’ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපටත් පිනක් තිබුනා බුද්ධ ශාසනයක් ලොව පවතින කාලයක මිනිස් උපතක් ලබන්න. අංගවිකල, මන්දබුද්ධික නොවී යහපත් සිතීමේ ශක්තියක් ඇතුව….. කළණ මිතුරන් ඇසුරේ….. අපටත් පින තිබුනා ඒ අමා වැස්සේ තෙමී නැහැවෙන්නට…. ඒ බුදු සුවඳ විඳගන්නට….. දුර්ලභව ලැබුනු මේ උතුම් අවස්ථාවේ අපි එතනින් නැවතුනොත් මේ වාසනාවන්ත යුගයේ පහල වුන අවාසනාවන්තම මිනිසුන්ගේ ගොඩට අපිත් වැටෙනවා. අපි මුලින් කතා කලානෙ පෙර කළ උන්නු බුදු වරු ගැන. ඉතින් අපි දැක්කනෙ විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කල්ප 60ක්ම බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ ආයෙත් කල්ප 30ක් බුද්ධ ශූන්‍යයි. ඉතින් අපිට අප ලද මේ වාසනාව වටහා නොගත්තොතින් ආයෙත් කවදානම් අවස්ථාවක් ලැබේවිද මේ ඉපදෙන ලෙඩවෙන මැරෙණ දුක්ඛිත සසර ගමනේ අවසානයක් දකින්නට……

මේ සසරේ බියකරු, අනියත, අනාත්ම ස්වභාවය තේරුම් ගන්න බැරිවුන ඇතැම් මෛත්‍රී බුදු සසුන පතාගෙන යනවා. මේ කල්පයේ ඈතක, දුරක, කෙළවරක සැඟවුන කොනක, නොදන්නා ඉසව්වක තියෙන….. ඇයි අපි මේ තවමත් මුලා වෙලා…….?

ගෞතම බුදු සසුනේ පහස ලද පින්වත් මිතුරනේ….. ගිලිහෙන්න දෙන්න එපා මේ අති දුර්ලභව ලද ක්ෂණය…….. අමතක කරන්න එපා අපි මේ ඉන්නේ පිරිසිදු බුදු සසුනක් ලොව පවතින සමයක කියලා. දැනවත් හිතන්න මොහොතක්…. ප්‍රමාද නොවී.

ලද උතුම් දුලභ ක්ෂණය හතුරකුගෙන්වත් ගිලිහී නොයේවා……. ඒ අනන්ත සම්මා සම්බුදු ගුණ බලයෙන්…..!!!

සදහම් ඇස් ඇති – සොඳුරු සිරිය ඇති
විපස්සී බුදුරජාණන් හට – නමස්කාර වේවා

සියළු සතුන් හට – අනුකම්පා ඇති
සිඛී බුදුරජාණන් හට – නමස්කාර වේවා

සියළු කෙළෙස් නැති – වෙර වීරිය ඇති
වෙස්සභූ බුදුරජාණන් හට – නමස්කාර වේවා

දසමර සේනා – ඔද තෙද බිඳ හළ
කකුසඳ බුදුරජාණන් හට – නමස්කාර වේවා

කෙළෙස් බැහැර කල – බඹසර නිම කළ
කෝණාගමණ බුදුරජාණන් හට – නමස්කාර වේවා

හැම කෙලෙසුන්ගෙන් – හොඳි මිදී ගිය
කස්සප බුදුරජාණන් හට – නමස්කාර වේවා

ලොවේ සියළු දුක් – මැනවින් දුරු වන
මේ සිරි සදහම් පවසා වදහළ – යම් කෙනෙකුන් වෙද
සොඳුරු සිරිය ඇති – ශාක්‍ය පුත්‍ර වූ
අංගීරස වූ අපගේ ගෞතම බුදු සමිඳුන් හට – නමස්කාර වේවා

ඒ බුදුවරු ලොව – නිවනට වැඩිසේක් ම ය
හැම දේ ගැන සැබෑ තත්ත්වය – විදසුන් කළ සේක් ම ය
ඒ නරෝත්තමයන් වහන්සේලා – පිසුණු බස් නොපවසත් ම ය
මහානුභාව සම්පන්න ම ය – සසර බිය නැති සේක් ම ය

දෙව් මිනිසුන් හට – හිතසුව සලසන
ගෞතම නම් වූ – විජ්ජාචරණ සම්පන්න වූ
මහානුභාව සම්පන්න වූ – හැම බියෙන් නිදහස් වූ
බුදුරජාණන් වහන්සේට – දෙව් මිනිසුන් නමස්කාර කරන්නා හු ය
ගෞතම නම් වූ – විජ්ජාචරණ සම්පන්න වූ
ඒ බුදුරජාණන් වහන්සේට – අපගේ නමස්කාරය වේවා…!!!

Tuesday, May 10, 2011

..තමා නොදැවෙනු පිණිස..!

..තමා නොදැවෙනු පිණිස..!

නමෝ බුද්ධාය..!!! දයාබර යාලුවනේ.., මේ කාරණා ටික බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිස යි ලියන්න කල්පනා කළේ. මේ ලිපිය දීර්ඝ වෙන්නට ඉඩ තිබෙනවා.. නමුත් සම්පූර්ණයෙන් කියවීම ඔබට යහපත පිණිස පවතීවි.. අපේ භාග්‍යවතුන් වහන්සේ ගේ සම්බුද්ධ සාසනය කියල කියන්නේ ......