Tuesday, August 2, 2011

ත්‍රිපිටකය

බුදුන් සරණ යමු

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
‘චත්තාරෝ ලෝකේ පජ්ජෝතා -
පංචමෙත්ථන විජ්ජති
දිවා තපති ආදිච්චෝ -
රත්තිං ආභාති චංදිමා
අථ අග්ගි දිවාරත්තිං -
තත්ථ තත්ථ පකාසතී
සම්බුද්ධෝ තපතං සෙට්ඨං
ඒසා ආභා අනුත්තරාතී’

පින්වත්නි,

‘සංයුක්ත නිකායේ’ ප්‍රථම කාණ්ඩයට අයත් දේවපුත්ත සංයුත්තයේ ‘මාගධ’ සූත්‍රයෙහි ඇතුළත් ගාථා දෙකක් අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් ගන්නා ලදී.අප බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයක එක්තරා දේව පුත්‍රයකු උන්වහන්සේ ඉදිරියට පැමිණ එක්තරා ප්‍රශ්නයක් ඇසුවේ ය. එනම් භාග්‍යවතුන් වහන්ස කිසියම් දෙයකින් මේ ලෝකය බබළන්නේ ද එබඳු එළි ලෝකයෙහි කොතෙක් තිබේද? එම එළි අතුරෙන් කුමන එළියක් ප්‍රධාන වන්නේ ද? ස්වාමීනි! මෙම කරුණ පැහැදිළි කර දෙනු මැනව යනුවෙනි. එම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථා දෙක දේශනා කළ සේක.

දේවපුත්‍රය! මේ ලෝකය බබළවන එළි සතරක් ඇත. පස්වැනි එළියක් නැත. එම එළි අතරෙන් දවල් කාලයේ සූර්යාලෝකය ප්‍රධාන වෙයි. රාත්‍රී කාලයෙහි සඳුගේ ආලෝකය ප්‍රධාන වෙයි. ගින්න දවල් කාලයේ මෙන් මැ රාත්‍රී කාලයෙහි ද ඒ ඒ ස්ථානවල දී බබළයි. එහෙත් සර්වඥයන් වහන්සේ මෙම සියලු එළි අතරෙන් ප්‍රධාන වෙයි. ඒ හා සමාන වෙනත් එළියක් නොමැත යනු එම ගාථා දෙකෙහි ලිහිල් අර්ථය වේ.

මෙම කරුණම දිනක් ආනන්ද තෙරුන් අමතා ද බුදුරදුන් විසින් දේශනා කළ සේක. ආනන්දය සූර්යයා බබළන්නේ දවල් කාලයට පමණකි. චන්ද්‍රයා රාත්‍රී කාලයේ පමණක් බබළයි. දහවල බබළන්නේ නැත. රජ තුමා රජ ඇඳුමින් සැරසී සිටින විට බබළයි. රහතන් වහන්සේලා මහ පිරිසෙන් ඈත් වී සමාපත්තියට සම වැදී සිටින විට බබළයි. සර්වඥයන් වහන්සේ සියලු අඳුර දුරු කැර දිවා රැය දෙකෙහිදීම බබළති.

මෙම ගාථාවල සඳහන් ආකාරයට දවල් බබළන සූර්යයා පිළිබඳවත්, රාත්‍රියට බබළන චන්ද්‍රයා පිළිබඳවත් දිවා කාලයේ ඒ ‘ඒ’ ස්ථානවලදී බබළන ගින්න පිළිබඳවත් අපට තේරුම් ගැනීමේ අපහසුවක් නැත. මෙම සියලු බැබළීම් අතුරෙන් දිවා රැය දෙකෙහිදීමැ නිරන්තරයෙන් බබළන සර්වඥයන් වහන්සේ පිළිබඳ මෙනෙහි කිරීම මඟින් ඔබට බුද්ධානුස්සති භාවනාව සිදු කැර ගැනීමට ද හැකියාව ලැබෙයි. බුදු ගුණ මෙනෙහි කිරීම මඟින් ආනිසංස කිහිපයක්ම ලබා ගත හැකි ය. එනම් බුදුරදුන් කෙරෙහි ගෞරවය දියුණු කැර ගැනීමට හැකිවීම ශ්‍රද්ධාව දියුණු කැර ගැනීමට හැකිවීම. බුදු ගුණ අරමුණෙහිමැ සිහිය පිහිටුවා ගත හැකි වීම. භාවනා ඤාණය දියුණුවීම සිතෙහි සතුටක් ඇති කැර ගත හැකිවීම, දුක් පීඩා ඉවසා ගත හැකිවීම සර්වඥයන් වහන්සේ සමග වාසය කරමි යි කියන හැඟීම ඇති වීම සර්වඥයන් වහන්සේ අරමුණු කැර ගෙනම සිත පැවතීම, කෙළෙස් පීඩා සන්සිඳී සිතෙහි අප්‍රමාණ සැනසිල්ලක් උදා වීම ආදී ආනිසංස රැසක් ලබා ගත හැකි වේ.

බුදුරජාණන් වහන්සේ මෙලොව පවතින අන්ධකාරයන් දුරු කැරෙන උත්තමයන් වහන්සේ නමක් නිසා නිරන්තරයෙන් බැබළීමට පත් වෙති. සත්වයාගේ දසශීලය නමැති අන්ධකාරය සර්වඥයන් වහන්සේගේ සීලය නමැති තේජසින් දුරු කරයි. සත්වයාගේ දුර්ගුණ නමැති අන්ධකාරය බුදුරදුන්ගේ ගුණ නමැති තේජසින් දුරු කරයි. එසේම ප්‍රඥාව නමැති තේජසින් මෝහාන්ධකාරය දුරු කරයි. පුණ්‍ය නමැති තේජසින් පාපය නමැති අන්ධකාරය දුරු කරයි. ධර්මය නමැති තේජසින් සත්වයාගේ අධර්මය නමැති අන්ධකාරය දුරු කරයි. මෙලෙස බුදුගුණ පහක් මඟින් අන්ධකාරයන් පහක් දුරු කරයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ලොවෙහි අඳුර දුරු කැරෙමින් දිවා රාත්‍රී දෙකෙහිදීමැ බුද්ධාලෝකයෙන් බබළවති. එබැවින් බුදුරදුන්ගේ බැබළීම අන් සියලු බැබළීම් වලට වඩා ශ්‍රේෂ්ඨ වෙති. බුදුරජාණන් වහන්සේ නව අරහාදී බුදු ගුණ වලින් යුක්ත වෙති. එලෙස නව අරහාදී ගුණයන්ගෙන් යුක්ත වන්නේ බුදුරජාණන් වහන්සේ පමණකි. ඒ නිසාම දෙවියන් බඹුන් මිනිසුන් අතරෙන් සරණ යා යුතු එකම ශාස්තෘවරයා වන්නේ බුදුරජාණන් වහන්සේ පමණකි. දෙවි මිනිසුනට ශාස්තෘ වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කැර ගත් භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේම ලෝකයෙහි නිරන්තරයෙන්ම බබළති.

උන්වහන්සේගේ චරිතය තුළින් බැබළීමට පත් වෙති. උන්වහන්සේට රහත් බව ලබාගෙන සසර දුකින් නිදහස් වීමේ අවස්ථාව දීපංකර බුදුරදුන්ගේ සමයෙහි උදා වුණත් ඒ සියල්ල පසෙකලා මෙම සංසාර සාගරයෙහි ඉමක් කොණක් නොමැතිවැ දුක් විඳින අපමණ සත්ව සමූහයා දුකින් මුදවා ගැනීමේ මහා කරුණාබර හැඟීමෙන් සාරාසංක්‍ය කල්ප ලක්‍ෂයක් තිස්සේම දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ථ පාරමිතා කියන සමතිංසත් පාරමිතාවන් සපුරා බුද්ධත්වයට පත් වූයේ මෙයින් වසර දෙදහස් හයසියයකට පෙරය. එසේ බුදු බව ලබා ගැනීමෙන් පසු අවුරුදු හතළිස් පහක් තිස්සේ ගම් දනව් සිසාරා පා ගමනින් වැඩම කොට පුහුදුන් සත්වයා දුකෙන් නිදහස් කැර ගැනීමේ කාර්යය සිදු කළ සේක. ඒ නිසාම උන්වහන්සේ නිරන්තරයෙන් බැබළෙන්නාහ. බුදුගුණ අනන්තය. බුදු කෙනෙකුන් කල්පයක් තිස්සේ වෙනත් කිසිම දෙයක් දේශනා නොකර බුදුගුණ පමණක් දේශනා කළත්, කල්පය නිමාවට පත් වනවා මිසක බුදුගුණ නිමාවට පත් නොවේ. ඒ අනුව උන්වහන්සේ බුදු ගුණ වලින් බැබළීමට පත් වෙති.

වරක් සක්‍රදෙවියන් බුදුරදුන්ගේ ගුණ අටක් මෙලෙස ප්‍රකාශ කළේ ය. එනම් බුදුරදුන් තමන් වහන්සේගේ මුළු ජීවිත කාලයම දෙවියන්, මිනිසුන්, යකුන්, බඹුන් ආදී සියලු සත්වයන්ගේ යහපත වෙනුවෙන් කැප කළ සේක. උන්වහන්සේ හැරුණ විට වෙනත් කිසිම ශාස්තෘවරයකු එලෙස කර නැත. උන්වහන්සේ දේශනා කළ ධර්මය ස්වාක්ඛාත ආදී ගුණයෙන් යුක්තය. එනම් එන්න බලන්න ප්‍රත්‍යක්‍ෂ කැර ගන්න. ඒ අවස්ථාවේම ප්‍රතිඵල ලබා ගත හැකි මෙලොව මෙන්ම පරලොව අභිවෘද්ධිය සලසා ගත හැකි ධර්මයක් දේශනා කළහ. එබඳු ධර්මයක් වෙනත් කිසිවකු විසින් දේශනා කැර නොමැත. බුදුරදුන් මේවා කුසල්ය. මේවා අකුසල්ය. කළ යුතු දෙය මෙයයි. නොකළ යුතු දෙය මෙයයි. අනුගමනය කළ යුතු දෙය මෙයයි. දුරු කළ යුතු මෙයයි. ආදී වශයෙන් පෙන්වා දුන්හ. වෙනත් ශාස්තෘවරයකු මෙලෙස කටයුතු කළේ නැත. උන්වහන්සේ පෙන්වා දුන් නිවනත් එය ලබා ගත යුතු ආකාරයත් ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාවත් ගංගා සහ යමුණා නදීවල ජලය එකට ගැළපෙන අයුරින් මැනවින් ගැළපෙයි. නිවන සහ එය ලබා ගත යුතු මාර්ගයත් අනුගමනය කළ යුතු ප්‍රතිපදාවත් පෙන්වා දුන් වෙනත් ශාස්තෘවරයකු නොමැත. බුදුරජාණන් වහන්සේට ලැබුණු ලාභ කීර්ති ප්‍රසංසා අප්‍රමාණය. එලෙස ලැබුණ ලාභ කීර්ති ප්‍රසංසා පිළිබඳ කිසිඳු ඇල්මක් නොතිබුණි. වෙනත් කිසිවකු තුළින් එවැනි ගුණයක් දැකීමට නොහැකි ය.

බුදුරදුන්් ඉතා වැදගත් ශ්‍රේෂ්ඨ අනුගාමිකයන් පිරිසක් ලැබූහ. සතර මඟ සතර ඵල වලට පත් ශ්‍රාවකයන් කොපමණ හිටියත් උන්වහන්සේ හුදෙකලාවම පි‍්‍රය කළහ. එලෙස එකලාව වාසය කළ වෙනත් ශාස්තෘවරයකු පෙර සිටියේ ද නැත. මෙකල ද නැත. බුදුරදුන් යමක් කියයි නම් ඒ අයුරින්ම කරති. යමක් කරයි නම් ඒ අයුරින්ම කියති. යථාවාදී තථාකාරී ගුණය ඇත්තේ බුදුරදුන්ට පමණකි. බුදුන්වහන්සේ සියලු සැකයන් දුරු කළ සේක. අනෙකුත් මඟ පල ලාභීන් සියලු දෙනාටම තමන් ලැබූ ලෝකෝත්තර තත්ත්වයන් ගැන සැක හට ගනියි. එහෙත් බුදුරදුන්ට තමන් වහන්සේ අවබෝධ කරගත් බුද්ධත්වය ගැන කිසිදු සැකයක් නොමැත. මේවා සක්‍ර දෙවියන් දුටු බුදු ගුණ වෙති. මෙවැනි ගුණ නිසාම බුදුරදුන් දිවා රැය දෙකෙහිමැ නිරන්තරයෙන් බැබළීමට පත් වෙති.

බුදුරදුන්ගේ ශරීර ලක්‍ෂණ නිසාද බැබළීමට පත් වෙති. බුදුරජාණන් වහන්සේට තිබුණේ අසාමාන්‍ය ශරීර ලක්‍ෂණයකි. උන්වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් සහ අසූවක් අනු භ්‍යන්ජනයන්ගෙන් යුක්ත වන්නාහ. බොහෝ දෙනා උන්වහන්සේගේ රූප සම්පත්තිය දැකීමෙන්ම පැහැදීමට පත් විය. ඇතැම් සැඩ පරුෂ අය පවා උන්වහන්සේගේ අසාමාන්‍ය රූප සම්පත්තිය දැකීමෙන් පැහැදීමට පත්වී යහපත් පුද්ගලයන් බවට පත් වූහ. ඒ අනුව රූප සම්පත්තිය අනුව උන්වහන්සේ දිවා රැය බැබළීමට පත් වූහ.

මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ සර්වඥයන් වහන්සේ මෙලොව අන් සියලු දෙයටම වඩා බැබළෙන බවයි. උන්වහන්සේගේ බැබළීම පිළිබඳ මෙනෙහි කිරීම ඉතා වැදගත් වන අතර එය ‘බුද්ධානුස්සති’ කමටහන වශයෙන් හඳුන්වයි. ඒ අතරම බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපදියි නම් එය බුදුන්දැකීම හා සමාන වන බව උන්වහන්සේ පෙන්වා වදාළහ. යමෙක් ධර්මය දකියි නම් හෙතෙම බුදුන් දැක්කා හා සමාන වේ, යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එබැවින් පින්වත 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මෙම කාලය තුළ බුදුරදුන් දේශනා කළ ධර්මය ඇසීමෙන් එම ධර්මය අනුව පිළිපැදීමෙන් ඔබට බුදුන් දැකිය හැකි වන බව සිතන්න. එය සැබෑ ලෙස සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම බවට පත් වෙයි.

ඔබට උතුම් නිවන අවබෝධ වේවා!,